November 18, 2026

ලාෆ්ස් ගෑස් මිලෙහි සිදු වූ සීඝ්‍ර ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් වායු වෙළඳපොළ කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇති අතර, එය සැපයුම් හිඟය, බදු සහන, වෙළෙදපොළ තරගකාරීත්වය සහ මෙම අර්බුදයේ සැබෑ මූලාරම්භය පිළිබඳව පුළුල් සංවාදයක් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකාව මාසිකව ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික් ටොන් 38,000 ක් පමණ පරිභෝජනය කරයි. එම සමස්ත ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 32,000 ක් පමණ සපයනු ලබන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම වන අතර, එය රටේ මාසික ඉල්ලුමෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයකි. ඉතිරි මෙට්‍රික් ටොන් 6,000, එනම් සියයට 20 ක පමණ ප්‍රමාණය සාම්ප්‍රදායිකව සපයනු ලැබුවේ ලාෆ්ස් ගෑස් සමාගම විසිනි.

නමුත් පසුගිය මාස කිහිපය තුළ එම සමතුලිතතාවය වෙනස් වී තිබේ.

පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය මට්ටමින් සැපයුම් පවත්වා ගැනීමට ලාෆ්ස් ගෑස් සමාගම දැඩි අරගලයක නිරත වූ අතර, එමගින් දේශීය වෙළෙදපොළ තුළ පීඩනයක් ඇති වී එම හිඩැස පිරවීමට ක්ෂේත්‍රයේ ප්‍රධානතම සැපයුම්කරුට සිදු විය.

ලාෆ්ස් සමාගම පවසන පරිදි, මෙම ගැටලු ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බෙහිය.

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ ගෝලීය LPG මිල ඉහළ යාම, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වැටී ඇති නාවික මාර්ගවලට බාධා එල්ල වීම, අන්තර්ජාතික බලශක්ති වෙළෙදපොළේ අස්ථාවරත්වය සහ නැව් ගාස්තු හා රක්ෂණ පිරිවැය අධික ලෙස ඉහළ යාම සැපයුම පහත වැටීමට ප්‍රධාන හේතු ලෙස එම සමාගම පෙන්වා දෙයි.

වෙළෙදපොළ තුළ කහ පැහැති ගෑස් සිලින්ඩර සොයා ගැනීම දුෂ්කර වීමත් සමඟ ඊට මැදිහත් වීමට ලිට්‍රෝ සමාගමට සිදු විය.

ගෘහස්ථ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට සිදුවන බාධා වැළැක්වීම සඳහා, ලිට්‍රෝ සමාගම සිය මාසික සැපයුම මෙට්‍රික් ටොන් 12,000 කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව එහි සමස්ත බෙදාහැරීමේ ධාරිතාව මසකට මෙට්‍රික් ටොන් 44,000 දක්වා ඉහළ ගියේය. එය එම සමාගමේ සාමාන්‍ය සැපයුම් මට්ටමට වඩා සියයට 37.5 ක වැඩිවීමකි.

මෙම අතිරේක බරට මුහුණ දීම සඳහා සමාගම ආනයන ද වේගවත් කළේය. මෙම මාසයේ පළමු දින තුන තුළ පමණක් ලිට්‍රෝ සමාගම ද්‍රව පෙට්‍රෝලියම් වායු මෙට්‍රික් ටොන් 11,700 ක් මෙරටට ආනයනය කර තිබේ.

ලාෆ්ස් සමාගම මහජන අවධානය වහා දිනාගත් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් කළේ මෙවන් පසුබිමකය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965 සිට රුපියල් 6,740 දක්වා ඉහළ ගිය අතර, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ ගියේය.

මෙම පියවරත් සමඟ රටේ ප්‍රධාන ද්‍රව පෙට්‍රෝලියම් වායු සැපයුම්කරුවන් දෙදෙනා අතර පවතින මිල පරතරය තවදුරටත් පුළුල් විය.

අද වන විට ලාෆ්ස් සමාගම විසින් අලෙවි කරනු ලබන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් සහ ලිට්‍රෝ සමාගම විසින් අලෙවි කරනු ලබන සිලින්ඩරයක් අතර මිල වෙනස රුපියල් 2,375 ක් ලෙස සටහන් වේ.

ඉන් අනතුරුව ඇති වූයේ එකිනෙකාට චෝදනා කරගන්නා පැහැදිලි කිරීම් මාලාවකි.

ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පවසන්නේ මෙම ගැටලුවේ මූලාරම්භය ආයෝජන මණ්ඩලයේ සහන යටතේ ඉදිකරන ලද එම සමාගමේ හම්බන්තොට LPG පර්යන්තය දක්වා දිවයන බවයි.

ඔහු පවසන පරිදි, එම ව්‍යාපෘතිය සඳහා ලබා දුන් බදු සහන කොන්දේසි සහිතව ලබා දී ඇත.

“අපි පර්යන්තය සඳහා ටැංකි සහ යන්ත්‍රෝපකරණ ආනයනය කර එකලස් කරන විට රජය අපට බදු සහන ලබා දුන්නා. එහි එක් කොන්දේසියක් වූයේ එහි ගබඩා කරන ද්‍රව පෙට්‍රෝලියම් වායු අපනයනය කළ යුතු බවයි. අපනයනය කරන සෑම මෙට්‍රික් ටොන් 100 කටම, මෙට්‍රික් ටොන් 40 ක් දේශීය වෙළඳපොළට ගෙන ඒමට අපට අවසර ලැබුණා,” යැයි ඔහු පැහැදිලි කළේය.

කොවිඩ් වසංගතය, ආර්ථික බිඳවැටීම සහ විදේශ විනිමය අර්බුදය පැවති කාලපරිච්ඡේදය තුළ සමාගම එම ක්‍රමවේදයෙන් බැහැර වූ බව කුරුකුලසූරිය පැවසීය.

“2019 සහ 2024 අතර කාලය තුළ අපනයනයට ප්‍රමුඛත්වය දීම වෙනුවට අපි දේශීය පාරිභෝගිකයින්ට සැපයීම කෙරෙහි අවධානය යොමු කළා. ආයෝජන මණ්ඩලයේ විගණනයකින් පසුව, දේශීය වෙළෙදපොළට එලෙස ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා,” ඔහු පැවසීය.

මෙම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද කඩිනම් ප්‍රතිචාරයක් එල්ල විය.

පාර්ලිමේන්තුව අමතමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේ ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩලයේ සහන භුක්ති විඳිමින් සිය අපනයන වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම මෙම ගැටලුවට මුල් වී ඇති බවයි.

“2019 සිට ඔවුන් ආයෝජන මණ්ඩලයේ පහසුකම් භාවිතා කරමින් එම සහන භුක්ති විඳිනවා. නමුත් ඔවුන් නියමිත අපනයන සිදු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දේශීය වෙළඳපොළට සැපයුම් කළා. සැබෑ ප්‍රශ්නය එයයි,” අමාත්‍යවරයා පැවසීය.

රජයේ ස්ථාවරය ඉතා පැහැදිලි බව ඔහු අවධාරණය කළේය.

“එක්කෝ ආයෝජන මණ්ඩල ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් එම කොන්දේසිවලට අනුගත විය යුතුයි, නැතහොත් එම රාමුවෙන් ඉවත් වී සම්පූර්ණයෙන්ම දේශීය වෙළෙදපොළට සැපයුම් කළ යුතුයි. නමුත් එසේ වන්නේ නම් අදාළ බදු ගෙවිය යුතුයි.”

තරගකාරී සමාගම් දෙක අතර අසමාන තරගකාරී පරිසරයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය හඳුන්නෙත්ති වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“ලිට්‍රෝ සමාගම දේශීය වෙළඳපොළට සැපයුම් කරමින් ඊට අදාළ බදු ගෙවනවා. ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩලයේ බදු සහන ලබා ගනිමින් එම බදු නොගෙවා දේශීය වෙළෙදපොළට සැපයුම් කිරීමට උත්සාහ කරනවා. ඔවුන් 2019 සිට එම බදු ගෙවා නැහැ. මෙම අර්බුදය ආරම්භ වූයේ එතැනින්,” යැයි ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මහජන සංවාදය උණුසුම් වීමත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊට මැදිහත් විය.

නවතම මිල ඉහළ දැමීමට හේතු වූ කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය ඇතුළු ලාෆ්ස් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (17) පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, මිල කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහභාගී වූහ.

සාකච්ඡා අතරතුරදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සමාගම හමුවේ ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් කරන ලදී.

පළමුව, ගෑස් සිලින්ඩර සඳහා තැන්පතු මුදල් ගෙවා ඇති පාරිභෝගිකයින්ට සාධාරණ වන්දියක් හෝ එම මුදල් ආපසු ලබා දීමක් සිදු කළ යුතුය.

දෙවනුව, සමාගම දිවයින පුරා ස්ථාවර සහ අඛණ්ඩ ගෑස් සැපයුමක් තහවුරු කළ යුතුය.

තෙවනුව, සහ වඩාත්ම කැපී පෙනෙන කරුණ ලෙස, නවතම ද්‍රව පෙට්‍රෝලියම් වායු මිල ඉහළ දැමීම තමන් අනුමත නොකරන බව අධිකාරිය ලාෆ් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩා විඳින පාරිභෝගිකයින්ට එය සියල්ලටම වඩා වැදගත්ම පණිවිඩය විය හැකිය. එහෙත් සැපයුම් හිඟය, බදු ආරවුල් සහ එකිනෙකට පරස්පර මතවාද තවදුරටත් ගැටෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාවේ කහ පැහැති ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පවතින මෙම අරගලය තවමත් අවසන් වී නොමැති බව පෙනේ.