November 16, 2026

වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා නීතිවිරෝධී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ උගුල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොරගොඩ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. වන සතුන් මැරීමට හෝ ඇල්ලීමට ඇටවූ කේබල් සහ කම්බි උගුල් තොගයක් මෙන්ම බලපත්‍ර නොමැති ගිනි අවියක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

මේ අතර, එදිනම වයඹ වනජීවී කලාපයට අයත් කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ නිකිනියාව ප්‍රදේශයේදී විජිතපුර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කළ තවත් වැටලීමකදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි, වෙඩි බෙහෙත්, පුපුරණ ද්‍රව්‍ය සහ පතරොම් තොගයක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ලබුනෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ සිද්ධිය සම්බන්ධයෙන් විජිතපුර වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.