November 15, 2026

කල් ඉකුත් වූ භාණ්ඩ, අලෙවිය සඳහා තබා ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ ඒවාට යාබදව තැබීම තහනම් කරමින් පනවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 52 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ 03 ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යන සමාගමකට රුපියල් 100,000ක දඩ මුදලක් නියම කර තිබේ.

මෙලෙස දඩ නියම වී ඇත්තේ කොළඹ 03, අබ්දුල් ගෆූර් මාවතේ අංක 52 දරන ස්ථානයේ පිහිටි Sun Light Garden Sea Food Restaurant (Pvt) Ltd සමාගමටය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ අවන්හලේ සිදුකළ විමර්ශනයකදී, 2024 දෙසැම්බර් 08 දින කල් ඉකුත් වූ බව සඳහන් Cane Pepper Oil මිලිලීටර් 250ක බෝතලයක් තබා තිබූ බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 නොවැම්බර් 11 දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

2014 අගෝස්තු 15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති විධාන අංක 52 අනුව, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ, අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව හෝ ඒවාට යාබදව තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම තහනම් කර ඇත.

අදාළ විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය පියවර ගෙන ඇති අතර, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවන්හල පවත්වාගෙන යන සමාගමට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ.