November 16, 2026

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර විද්‍යාත්මක සහ ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ දත්ත රැස් කිරීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද, දුරස්ථව පාලනය කෙරෙන කුඩා මිනිසුන් රහිත යාත්‍රාවක්, බලධාරීන් විසින් ඊට අදාළ මෙහෙයුම් අවසරයන් තවමත් ලබා දී නොමැති වීම හේතුවෙන් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ භාවිතයට නොගෙන පවතින බව The Sunday Morning පුවත්පත වාර්තා කරයි.

මෙම යාත්‍රාවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිලෝමීටර් 50ක් දක්වා දුරට ගමන් කර ජලයේ ගුණාත්මකභාවය, සාගර දියවැල්, ජලයේ බොර බව සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත රැස් කළ හැකි බව දැනගන්නට තිබේ. මෙම දත්ත මගින් විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහාය වීමට මෙන්ම, මුහුදු තත්ත්වයන් සහ වෙරළ තීරයේ ජලයේ ගුණාත්මකභාවය ඇතුළුව ධීවර හා සංචාරක ක්ෂේත්‍රයන්ට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමට හැකියාව පවතී.

කෙසේ වෙතත්, සුළි කුණාටු හෝ වෙනත් දරුණු කාලගුණික පද්ධති හඳුනා ගැනීම සඳහා මෙම යාත්‍රාව නිර්මාණය කර නොමැත. එමෙන්ම මෙහි එක් පුද්ගලයෙකුට ගමන් කිරීමේ පහසුකම් ද පවතී.

මෙම යාත්‍රාව දැනට රුහුණු විශ්වවිද්‍යාලය භාරයේ පවතින අතර, ආයතන කිහිපයකින් අනුමැතිය ලැබෙන තෙක් එය මෙහෙයුම් කටයුතු සඳහා යොදවා නොමැත.

‘ද සන්ඩේ මෝනිං’ පුවත්පතට වාර්තා වන පරිදි, ඊට අදාළ අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය දැනට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින අතර, ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ද අනුමැතිය ලබා ගැනීමට සිදුවනු ඇත. මෙම යාත්‍රාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු වියදමක් දරා නොමැති අතර, එහි වටිනාකම ද මෙතෙක් තක්සේරු කර නොමැත.

මෙම යාත්‍රාව ක්‍රියාත්මක කළහොත්, ඒ මගින් රැස් කරන දත්ත මාර්ගගත වේදිකා හරහා ලබා දීමට හැකියාව ලැබෙන අතර, ඒ ඔස්සේ මහජනතාවට, පර්යේෂකයින්ට සහ අදාළ කර්මාන්ත සඳහා ශ්‍රී ලංකාවේ වෙරළබඩ මුහුදු තීරයේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම වෙරළ තීරයේ ජලයේ ගුණාත්මකභාවය සහ සාගර දියවැල් තක්සේරු කිරීමේදී එවැනි තොරතුරු ධීවර සහ සංචාරක ක්ෂේත්‍රයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය.