November 15, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම වැල්වෙටිතුරේ නගර සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ මහාලිංගම් කනගලිංගම් සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

පසුගිය ජුනි මාසයේදී කොළඹ පෞද්ගලික රෝහලකදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වූ සිවාජිලිංගම්, පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් පේදුරුතුඩුව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

දෙමළ ජාතික දේශපාලනය තුළ වඩාත් ක්‍රියාකාරී සහ ආන්දෝලනාත්මක චරිතයක් වූ සිවාජිලිංගම්, 2001 සිට 2010 දක්වා දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

ඊට අමතරව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ද ඔහු සේවය කර ඇත. එමෙන්ම, 2010 සහ 2019 ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වූ සිවාජිලිංගම්, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නැගූ දේශපාලනඥයෙකි.

එම්.කේ. සිවාජිලිංගම් යනු LTTE හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙකි. ඔවුන් දෙදෙනාම යාපනයේ වැල්වෙටිතුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුල් පසුබිමකට අයත් ඥාතීන් වේ.