November 13, 2026

කොළඹ නගරයේ ගංවතුර තත්ත්වයන් නිරූපණය කරමින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අනතුරු අඟවා තිබේ.

පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ One Galle Face සාප්පු සංකීර්ණය තුළ ගංවතුර ගලා යන අයුරු දැක්වෙන AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව නගරාධිපතිනිය පවසයි.

මේ අතර, කොළඹ වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය තුළ ගංවතුර තත්ත්වයක් ඇති වූ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය වීඩියෝව කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ හෝ විකෘති කළ එකක් බව කරුණු පරීක්ෂා කිරීමේ ආයතනයක් වන Fact Crescendo Sri Lanka තහවුරු කර තිබේ.

නොවැම්බර් 6 සහ 11 යන දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසු ෆේස්බුක් සහ ටික්ටොක් ඔස්සේ සංසරණය වූ තත්පර 14ක එම වීඩියෝවේ, සාප්පු සංකීර්ණයේ පිවිසුම අසල ජලය පිරී ඇති අයුරුත්, විදුලි පඩිපෙළක් සහ වෙළෙඳසැලක් අසල පිරී ඇති ජලය මැදින් පුද්ගලයන් ඇවිද යන අයුරුත් දැක්විණි.

‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ’ ආයතනය සඳහන් කරන පරිදි, එම වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී විකෘති වූ මුහුණු ලක්ෂණ, අසාමාන්‍ය අකුරු සහ ස්වාභාවික නොවන ජල චලනයන් ඇතුළු AI තාක්ෂණය භාවිත කළ බවට සාක්ෂි කිහිපයක් අනාවරණය වී ඇත.

AI රූප හඳුනාගැනීමේ මෙවලමක් මගින් පළමු දර්ශනයේ රූප රාමුවක් AI තාක්ෂණයෙන් නිර්මාණය කළ එකක් වීමට 99%ක සම්භාවිතාවක් ඇති බව පෙන්වා දී ඇති අතර, ගූගල් සමාගමේ ‘SynthID Detector’ මෙවලම මගින් දෙවන දර්ශනයේ සහ ශ්‍රව්‍ය කොටසේ AI නිර්මාණ හෝ සංස්කරණ සාක්ෂි හඳුනාගෙන තිබේ.

‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ’ ආයතනය වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයක කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් කළ විමසීමේදී, සාප්පු සංකීර්ණය තුළට ගංවතුර ගලා ඒමක් හෝ ජලය එක්රැස් වීමක් සිදු නොවූ බව ඔවුන් තහවුරු කර ඇත. රථගාල ප්‍රදේශයේ යම් ජල මට්ටමක් වාර්තා වුවද, සමාජ මාධ්‍ය වීඩියෝවේ පෙන්වා ඇති තරම් බරපතළ තත්ත්වයක් නොතිබූ බව ඔවුහු පැවසූහ.

ගාලු මුවදොර අවට ප්‍රදේශ ඇතුළු කොළඹ මාර්ග කිහිපයක සැබෑ ලෙසම ගංවතුර තත්ත්වයන් වාර්තා වුවද, වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය ජලයෙන් යට වූ බවට පළ වූ ප්‍රචාරය අසත්‍යයක් බව එම කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය නිගමනය කර තිබේ.

පසුගිය නොවැම්බර් 6 වැනිදා පැය කිහිපයක් ඇතුළත මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වීමත් සමඟ කොළඹ නගරයේ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, නොවැම්බර් 11 වැනිදා ඇදහැළුණු වර්ෂාපතනය හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ රථවාහන තදබදයන් ඇති විය.