November 12, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කතාව පවත්වමින් ප්‍රකාශ කළේ, රටේ නීති සහ නියාමන රාමුව නවීකරණය කිරීම සඳහා පවතින නීති කිහිපයකට සංශෝධන හඳුන්වා දීමට සහ නව නීති සම්පාදනය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති බවයි. වර්තමානයේ ක්‍රියාත්මක වන ඇතැම් නීති වසර 100කට වඩා පැරණි බවද ඔහු පෙන්වාදුන්නේය.

සැබෑ ආර්ථික පරිවර්තනයක් අත්කර ගැනීමටත්, ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමටත් නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව, යල් පැන ගිය නීති සහ ආයතන වෙනුවට වර්තමාන ආර්ථික හා සමාජීය අවශ්‍යතා සපුරාලන නවීන රාමම් ඇති කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක වෙනස්කම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරයි.

මීට අමතරව, රාජ්‍ය දේපළ හා වත්කම් කළමනාකරණය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රාජ්‍ය වත්කම් කළමනාකරණ පනතක් හඳුන්වා දීමට නියමිතය. අපනයනකරුවන්ට පහසුකම් සැලසීමේ අරමුණින්, තේ සහ පොල් වැනි තෝරාගත් නිෂ්පාදන සඳහා තනි කවුළු (single-window) ක්‍රමයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම ආර්ථික හා නීතිමය ප්‍රතිසංස්කරණ හරහා ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.