November 11, 2026

ෆේස්බුක් සටහනක් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ට එරෙහිව පවත්වාගෙන ගිය සියලුම නීතිමය කටයුතු අත්හිටුවීමට සවුදි අරාබි බලධාරීන් තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තහවුරු කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයාට අනුව, අනෝජන්ට එරෙහිව පැවැති ඉතිරි නීතිමය කටයුතු ද ඉදිරියට පවත්වාගෙන නොයෑමට සවුදි අරාබියේ මහජන පැමිණිලි මෙහෙයවීමේ දෙපාර්තමේන්තුව 2026 නොවැම්බර් 09 වැනිදා තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහු එම නඩුවෙන් නිදහස් කර තිබේ.

සවුදි බලධාරීන් විසින් නීතිවිරෝධී යැයි සැලකූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ සවුදි අභියාචනා අධිකරණයක් මගින් 2026 සැප්තැම්බර් 17 වැනිදා අනෝජන්ට මරණ දඬුවම නියම කර තිබිණි.

රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වලින් පසුව, 2026 ඔක්තෝබර් 14 වැනිදා සවුදි අධිකරණය විසින් ඔහුගේ මරණ දඬුවම අහෝසි කරන ලදී. කෙසේවෙතත්, සූදානම් කර තිබූ අනෙකුත් දඬුවම් එලෙසම පැවති බැවින්, ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී.

සවුදි මහජන පැමිණිලි මෙහෙයවීමේ දෙපාර්තමේන්තුව විසින් ගත් මෙම නවතම තීරණයත් සමඟ අනෝජන්ට එරෙහි ඉතිරි නීතිමය කටයුතු ද නිමාවට පත්වන අතර, ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මග පෑදී තිබේ.

අනෝජන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර රජය මගින් ගන්නා බව පවසන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ඉදිරි සති එකත් දෙකත් අතර කාලය තුළ ඔහු මෙරටට පැමිණීමට නියමිත බව ද සඳහන් කළේය.

මේ අතර, අනෝජන්ගේ පවුලේ සාමාජිකයින් අද විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ඇති අතර, ඔහුව නිදහස් කර ගැනීමට මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකට, විදේශ කටයුතු අමාත්‍යාංශයට මෙන්ම ඊට දායක වූ සියලුම රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ට සිය කෘතඥතාව පළකර ඇත.

ජනාධිපති අනුර දිසානායකගේ මගපෙන්වීම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සහ අනෙකුත් නිලධාරීන්ගේ කැපවීම මෙම සාර්ථක ප්‍රතිඵලයට හේතු වූ බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සවුදි අරාබි රජයට, එරට අධිකරණයට, සවුදි සහ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට මෙන්ම මෙම නඩුව සඳහා සවුදි අරාබියට ගිය නීතිඥ කණ්ඩායමට ද අමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පුදකළේය.