November 12, 2026

අවම වශයෙන් 2009 වසරේ සිට ඉතාලියේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ශ්‍රී ලාංකිකයෙකුගේ තොරතුරු හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහාය ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ළඟම හිතවතුන් සොයා ගැනීමට මෙලෙස තොරතුරු අපේක්ෂා කරන බවයි.

අමාත්‍යාංශයට අනුව, මෙම පුද්ගලයා පහත සඳහන් දෙදෙනාගෙන් එක් අයෙකු විය හැක:

ගමගේ සුනිල් සරත් – උපත: 1961 පෙබරවාරි 08 (මරදාන). ලිපිනය: නාවල පාර, රාජගිරිය.

කච්චකඩුගේ ප්‍රනාන්දු නොයෙල් වියානි කුමාර – උපත: 1963 ජූනි 28 (මීගමුව). සම්බන්ධිත ප්‍රදේශය: බෝයවලාන.

අවිවාහක පුද්ගලයෙකු වන මොහු අවම වශයෙන් 2009 වසරේ සිට ඉතාලියේ බොලොඤ්ඤා හි ජීවත්ව ඇති බවට වාර්තා වේ. 2026 ජූලි 23 වන දින ඔහු මෙසිනා හි සිට ඇති අතර, 2026 ඔක්තෝබර් වන විට ඔහුගේ අවසන් වරට දැනගැනීමට ලැබුණු පදිංචි ලිපිනය වන්නේ ඉතාලියේ ලිපාරි හි ‘Via San Giorgio’ යන්නයි.

මෙම පුද්ගලයා හඳුනා ගැනීමට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සොයා ගැනීමට උපකාරී වන යම් තොරතුරක් වෙතොත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

දුරකථන අංකය: 011 227 5525

විද්‍යුත් තැපෑල (Email): consular@mfa.gov.lk

2026 නොවැම්බර් 11 වන දින නිකුත් කරන ලද මෙම නිවේදනයේ සිට දින 14 ක් ඇතුළත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙය මානුෂීය පදනම මත සිදුකරන සොයා බැලීමක් බැවින් ලබාදෙන සියලු තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.