November 9, 2026

තම ඉඩම වටා අටවා තිබූ නීති විරෝධී විදුලි වැටක වැදීමෙන් වන අලියෙකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් 57 හැවිරිදි පුද්ගලයෙකු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

නැගෙනහිර වනජීවී කලාපයට අයත් රත්කිඳ, කුඩාවිල, බානගම ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා විය.

සැකකරුගේ ගෙවත්ත වටා අටවා තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වන අලියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් උල්හිටිය අඩවි වන කාර්යාලයේ ආර්.ජී.එල්.පී.කේ. රණතුංග ප්‍රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහියංගණය මහේස්ත්‍රාත්වරයා, ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළේය.

මෙම නඩුව නැවත ලබන දෙසැම්බර් 03 වනදා කැඳවීමට නියමිතය.