November 9, 2026

බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල ස්ථාපනය කර ඇති රුපියල් බිලියන ගණනක් වටිනා පිළිකා විකිරණ චිකිත්සක යන්ත්‍ර දෙකක් ප්‍රතිකාර සපයන්නට සම්පූර්ණයෙන්ම සූදානම් කර තිබුණද, සේවාවන් ආරම්භ නොකිරීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි ප්‍රමාදයකට සහ අපහසුතාවකට මුහුණ දී සිටින බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පවසයි.

එක් යන්ත්‍රයක් සඳහා රුපියල් මිලියන 600කට අධික මුදලක් ඇතුළුව සම්පූර්ණ විකිරණ චිකිත්සක ඒකකයක් වෙනුවෙන් රුපියල් බිලියනයකට වඩා වැය කර ඇති මෙම යන්ත්‍ර, වසර ගණනාවක ප්‍රමාදයකින් පසුව රජයේ රෝහල් වෙත ලබාදුන් යන්ත්‍ර පහ අතුරින් දෙකකි. බදුල්ල රෝහලේ ස්ථාපනය පසුගිය අප්‍රේල් මාසයේදීත්, හම්බන්තොට රෝහලේ ස්ථාපනය ඔක්තෝබර් මුලදීත් අවසන් කර ඇත.

කෙසේ වෙතත්, බදුල්ල යන්ත්‍රයේ ස්ථාපනය නිමවී මාස හයක් සහ හම්බන්තොට ස්ථාපනය නිමවී මාසයක් ගතවී තිබුණද, අත්‍යවශ්‍ය මාත්‍රා මිනුම් උපකරණ නොමැති බව පවසමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම මේ වන තෙක් අත්හිටුවා තිබේ.

අලුතින් උපකරණ ගෙනෙන තෙක් බලා නොසිට, දැනට මහරගම අපේක්ෂා රෝහලේ ඇති මාත්‍රා මිනුම් උපකරණ තාවකාලිකව ලබාගෙන මෙම ප්‍රතිකාර කඩිනමින් ආරම්භ කළ හැකි බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි. නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද මෑතකදී බදුල්ල රෝහලේ නිරීක්ෂණයක නිරත වෙමින් අපේක්ෂා රෝහලෙන් උපකරණ ලබාගෙන සේවාවන් වහාම ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබුණද, අදාළ බලධාරීන් මෙතෙක් ඊට පියවර ගෙන නොමැති බව සංගමය සඳහන් කරයි.

මීට පෙරද අනෙකුත් රෝහල්වල මෙවැනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස තාවකාලිකව උපකරණ ලබාගැනීමේ ක්‍රමවේදයන් සාර්ථකව භාවිත කර ඇති බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.