November 9, 2026

රැඳවියන් අතර සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් බන්ධනාගාර තුනකින් රැඳවියන් පිටතට ගෙන යාම සහ අධිකරණ වෙත ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර බලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

සරම්ප ආසාදිත රැඳවියන් කිහිපදෙනකු හඳුනාගැනීමත් සමඟ පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සේනක පල්ලේතැන්න පැවසීය. වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය යන ස්ථානයන්හි මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වී ඇත.

අදාළ නෛතික ක්‍රියාමාර්ග සඳහා අදාළ අධිකරණ වෙත මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති අතර, රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් මත පදනම් වූ විශේෂ පූර්වාරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ සහ ආරක්ෂිත පියවරවලින් පසුව හැකි ඉක්මනින් රැඳවියන් නැවත අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, මෙම බන්ධනාගාර තුනෙහි පසුවන රැඳවියන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කර නොමැත.

පවතින සෞඛ්‍ය තත්ත්වය සහ පැනනගින පරිපාලනමය හේතු පැහැදිලි කරමින් බන්ධනාගාර බලධාරීන් විසින් අදාළ අධිකරණ වෙත ලිඛිත දැනුම්දීම් නිකුත් කර ඇත.