November 9, 2026

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් ඔය ආසන්නයේදී වන අලියකු සහ ඇතකු පාර මාරුවන අතරතුර, එහි සිටි පිරිසට ආචාර කරන ආකාරයක් කැමරාවක සටහන් වී ඇත.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ එම සතුන් දෙදෙනා පාර අයිනේ තිබූ වැටකින් පැන ප්‍රධාන මාර්ගයට පිවිසෙන ආකාරයයි.

මාර්ගය හරහා යාමට පෙර මෙම සතුන් දෙදෙනා එතැන සිටි පිරිස දෙසට තම හොඬවැල් ඔසවන අයුරු දක්නට ලැබිණි.

අනතුරුව මාර්ගයේ අනෙක් පස තිබූ තවත් වැටකින් පැන ඔවුන් අසල වූ ඝන කැලෑ ප්‍රදේශයට නොපෙනී ගොස් ඇත.

පසුව මෙම සතුන් දෙදෙනා කුඹුක්කන් ඔයේ දිය නාමින් සිටිනු ද දක්නට ලැබේ.

මේ අතර, මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේ වැසියන් පවසන්නේ මෑත දිනවලදී ඇතකුද සහිත අලි රංචුවක් නිතර ප්‍රදේශයට පැමිණීමත් සමඟ වන අලි ගැවසීම ඉහළ ගොස් ඇති බවයි.