November 8, 2026

ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් මහජනතාව වෙත නිකුත් කෙරෙන පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිතා කරන ‘හයිඩ්‍රේටඩ් ලයිම්’ (Hydrated Lime) නමැති රසායනික ද්‍රව්‍ය ටොන් 37 ක තොගයක් භාවිත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. අභ්‍යන්තර පරීක්ෂණාගාර පරීක්ෂාවකදී එම තොගයේ අඩංගු ක්‍රෝමියම් ප්‍රතිශතය නිර්දේශිත මට්ටමට වඩා 58% කින් ඉහළ ගොස් ඇති බව තහවුරු වීම ඊට හේතුවයි.

ජලසම්පාදන මණ්ඩලයේ මධ්‍යම පරීක්ෂණාගාරය මගින් මෙම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් (ලයිම්) තොගය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ක්‍රෝමියම් මට්ටම කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 19 ක් ලෙස සටහන් වී ඇත. පැවැත්විය යුතු උපරිම නිර්දේශිත මට්ටම වන්නේ කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 12 කි.

මෙම තත්ත්වය හමුවේ සැපයුම්කරුගෙන් වන්දි අයකර ගන්නේද යන්න සහ ඉදිරි පියවර කුමක් ද යන්න පිළිබඳව ජලසම්පාදන මණ්ඩලයේ විශේෂඥයින් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවක් පරීක්ෂණ පවත්වන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පරීක්ෂණාගාරය මගින් සිදු කළ දෙවන පරීක්ෂණයේදී එහි ක්‍රෝමියම් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 11 ක් ලෙස සටහන් වූ නමුත්, ආරක්ෂිත පියවරක් ලෙස අදාළ තොගය මෙතෙක් භාවිතයට ගෙන නොමැති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“දැනට අපි වෙනත් රසායනික ද්‍රව්‍ය තොගයක් යොදා ගනිමින් ජල පිරිපහදු කටයුතු සිදු කරනවා,” යනුවෙන් සභාපතිවරයා පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජලසම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික ජල පිරිපහදු විශේෂඥයෙකු වන නිහාල් රත්නායක සඳහන් කළේ, සාමාන්‍යයෙන් ජලය ලීටරයක් සඳහා හයිඩ්‍රේටඩ් ලයිම් යොදනු ලබන්නේ මිලිග්‍රෑම් පහක පමණ කුඩා ප්‍රමාණයක් බවයි.

“වෙනත් විකල්පයක් නැත්නම් මෙම තොගය කෙටි කාලයකට භාවිත කරන්න පුළුවන්, නමුත් දිගින් දිගටම භාවිත කිරීම සුදුසු නැහැ,” යනුවෙන් ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව යුරෝපීය හොඳම ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ ජල ප්‍රමිතීන් පවත්වාගෙන යනු ලබයි. ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය සතුව ජලය සහ අපජලය පරීක්ෂා කිරීමේ පරීක්ෂණාගාර 36 ක ජාලයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව සකස් කරන ලද ‘SLS 614’ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව මෙරට පානීය ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් ඇගයීමට ලක් කෙරේ.