November 6, 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕෆ්-රෝඩිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මිචෙල් පෙරේරා (59) ඩුබායි හිදී මියගොස් තිබේ

ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කරන පරිදි, ‘මිච්’ යන ආදරණීය නාමයෙන් ප්‍රසිද්ධව සිටි ඔහු, පසුගිය අගෝස්තු 14 වැනිදා සිදු කරන ලද හදවත් සැත්කමකින් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Off-roading ක්ෂේත්‍රයට දැක්වූ සුවිශේෂී දායකත්වය මෙන්ම, වාර්ෂිකව පැවැත්වෙන ‘ගල්ෆ් නිවුස් ෆන් ඩ්‍රයිව්’ තරගාවලියේ ප්‍රවීණ මාර්ෂල්වරයෙකු, සන්නිවේදන පාලකවරයෙකු සහ ව්‍යාපෘති නායකයෙකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඉටුකළ සේවය නිසා ඔහු කාගේත් ගෞරවයට හා ආදරයට පාත්‍ර විය.

හදවත් කපාටයක ඇති වූ කාන්දුවක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම සැත්කම සිදු කළ බවත්, ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ පසුවූ ඔහුට ශ්වසන ආබාධ, වකුගඩු අක්‍රියතා සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා ඇති වූ බවත් ඔහුගේ ඥාතියෙකු වන ඩැල්රීන් දේවදාසන් ගල්ෆ් නිවුස් වෙත පවසා ඇත.

පසුකාලීනව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යම් තරමකට යහපත් අතට හැරී තිබූ අතර, අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය නැවතත් ශීඝ්‍රයෙන් පිරිහී ගොස් තිබේ.