November 6, 2026

2026 වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ජාතික පද්ධති මෙහෙයුම්කරු තීරණය කර තිබියදීත්, විදුලි ගාස්තු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කිරීම බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රශ්න කර සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සහතික වූයේ පවතින දත්ත සහ පුරෝකථන අනුව මෙම වසර තුළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ ස්ථාවරය නොසලකා හරිමින් මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම විමර්ශනය පැවැත්වීම තුළින් සිදුවන්නේ ඇතැම් විපක්ෂ දේශපාලනඥයන්ට, පරාජිත දේශපාලනඥයන්ට සහ ඇතැම් යූටියුබ්කරුවන්ට තම මත දැක්වීමට අවස්ථාවක් සැලසීම පමණක් බවද අමාත්‍යවරයා පැවසීය.

“මහජන සාකච්ඡා පැවැත්වීමට ගත් මේ තීරණය කොමිෂන් සභාවේ සාමාජිකයන් ගත්ත එකක් ද නැතහොත් එහි නිලධාරීන් ගත්ත එකක් ද යන්න අපට සැක සහිතයි. පටු අරමුණු තියෙන පුද්ගලයන් විවිධ අදහස් පළ කරන්න පුළුවන්. නමුත් රජය සහ විදුලි ක්ෂේත්‍රයේ ආයතන කටයුතු කරන්නේ මහජනතාවගේ යහපත උදෙසායි. පවතින දත්ත සහ පුරෝකථන අනුව, මේ වසරේ තවත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවක් අප දකින්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහි ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් අමාත්‍ය කරුණාතිලක කියා සිටියේ, සාමාන්‍යයෙන් ජාතික පද්ධති මෙහෙයුම්කරු විසින් කාර්තුමය පදනමින් සිය පුරෝකථනය කරන ලද විදුලි උත්පාදන පිරිවැය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බවයි.