November 2, 2026

තම ප්‍රථම දේශීය බුලට් දුම්රිය බෙංගලූරු හි ‘භාරත් අර්ත් මූවර්ස් ලිමිටඩ්’ ආයතනය තුළ නිෂ්පාදනය කරමින්, ඉන්දියාව සිය අධිවේගී දුම්රිය සිහිනය සැබෑ කරගැනීම වෙත තවත් සමීප වී තිබේ. මෙම දුම්රිය ඉදිකෙරෙන්නේ මුම්බායි-අහමදාබාද් අධිවේගී දුම්රිය කොරිඩෝව සඳහා ය.

ඉන්දීය දුම්රිය අමාත්‍යාංශයට අනුව, මෙම දුම්රිය විශේෂයෙන්ම ඉන්දීය කාලගුණික සහ භූගෝලීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති අතර, දේශීය ඉංජිනේරු තාක්ෂණය, නවීන තාක්ෂණය, මගී පහසුව සහ ප්‍රවේශවීමේ පහසුව සමඟ මනාව මුසුකර ඇත.

මීටර් 202ක් පමණ දිගින් යුත් පෙට්ටි 8කින් සමන්විත මෙම දුම්රියේ උපරිම පරීක්ෂණ වේගය පැයට කිලෝමීටර 280ක් වන අතර, එහි සැලසුම්ගත ධාවන වේගය පැයට කිලෝමීටර 249කි. විශේෂ අවශ්‍යතා සහිත සහ සංචලන අපහසුතා සහිත මගීන් සඳහා වෙන්කළ විශේෂ ස්ථාන දෙකක්ද ඇතුළුව, මගීන් 557 දෙනෙකුට එකවර ගමන් කිරීමේ පහසුකම් මෙහි සලසා ඇත.

මෙම දුම්රිය මැදිරි 8ක කට්ටලය එන්ජින් සහිත මැදිරි 4කින් සහ සාමාන්‍ය මැදිරි 4කින් සමන්විත වේ. එහි 3×2 අසුන් පැනවීමේ ක්‍රමවේදය සහිත සාමාන්‍ය පන්තියේ මැදිරි 7ක් සහ 2×2 අසුන් පැනවීමේ ක්‍රමවේදය සහිත එක් ප්‍රභූ පන්තියේ මැදිරියක් අඩංගු වේ. දුම්රියේ දෙකෙළවරම පිහිටි රියදුරු මැදිරි තුළ intelligent onboard control systems සවිකර ඇති අතර, එමගින් තීරණ ගැනීමේදී සහ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය කිරීමේදී රියදුරුට සහාය දැක්වේ.

තවද, අවශ්‍යතාවය අනුව මැදිරි 8 බැගින් වූ මෙවැනි දුම්රිය කට්ටල දෙකක් එකිනෙකට සම්බන්ධ කර පෙට්ටි 16ක එකම දුම්රියක් ලෙස ධාවනය කරවීමේ පහසුකමද මෙහි පවතී.