November 4, 2026

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධවීමේ චෝදනා මත මේ වන විට පොලිස් නිලධාරීන් 208 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.

ඔහුට අනුව, විවිධ විනය විරෝධී වැරදි හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කර ඇත.

පොලිස් සේවය තුළ නුසුදුසු හා දූෂිත නිලධාරීන් ක්‍රියාත්මක වන බව විවෘතව පිළිගත් මාධ්‍ය ප්‍රකාශකවරයා, එවැනි පුද්ගලයන් හඳුනාගෙන ආයතනයෙන් ඉවත්කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලිස්පතිවරයා ඇතුළු උසස් අංශ දැඩි පියවර ගනිමින් සිටින බව අවධාරණය කරයි.

2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් ළමුන් 11,131 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර ගැහැණු ළමුන් 233 දෙනකුද වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

විශේෂයෙන්ම පාසල් සහ උපකාරක පන්ති කේන්ද්‍ර කරගනිමින් ‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු පවසන අතර, අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට්වල බහා, බොම්බේ මොටයි, සාරවිට වැනි විවිධ ආහාර ද්‍රව්‍ය හෝ රසකැවිලි හරහා දරුවන්ට ලබාදීමේ නව උපායමාර්ග ජාවාරම්කරුවන් විසින් අනුගමනය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසයි.

මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා පාසල් අවට විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායම් යොදවා ඇති බවත්, දරුවන්ගේ ආහාර පුරුදු, දෛනික හැසිරීම් රටාව, කතාබහ සහ මිතුරු ඇසුරෙහි යම් අසාමාන්‍ය වෙනසක් දක්නට ලැබේ නම් ඒ පිළිබඳව මාපියන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.