November 4, 2026

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත්කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳ තීරණය නොවැම්බර් 25 වැනි දින ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණේද යන්න පිළිබඳව සැකයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇති අතර, හිටපු ජනාධිපතිවරයා විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීම තහවුරු කිරීම සඳහා නිසි නීතිමය ක්‍රමවේදයක් සකස් කර ඇත්නම්, විදේශ ගමන් තහනම ඉවත් කිරීමට විරුද්ධ නොවන බවත්, එවැනි ක්‍රමවේදයක් නොමැති නම් ඔහුගේ විදේශ ගමන් තහනමට විරුද්ධ වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන ලද්දේ, හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින්, විදේශ ගමන් තහනම ඉවත්කිරීමෙන් පසු ඔහු යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.