November 4, 2026

අම්පාර, කල්මුනයිකුඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හයකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කල්මුණේ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

ගිනිකොනදිග නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරියකුට ලත් විශ්වාසදායක තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

මෙහෙයුම අතරතුර කල්මුනයිකුඩි ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස බෙදාහැරීම සඳහා කුඩා පැකට් 94 ක අසුරා තිබූ කිලෝග්‍රෑම් 6 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට නිලධාරීන් සමත් වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුනයිකුඩි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ කල්මුණේ කාර්යාලය වෙත භාරදී තිබේ.