November 4, 2026

වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුමට සමගාමීව, නෙල්ලිය, කුඹුක්ගැටේ ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන කිහිපයක වන අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා ගම්වාසීන් විසින් අනවසරයෙන් ඉදිකර ඇති විදුලි වැටවල් ‍පරීක්ෂාවක් යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව අද(04) දිනයේදීත් සිදුකර ඇත.

මෙම මෙහෙයුම 57 වැනි පාබල සේනාංකයට අයත් 571 වැනි පාබල බලසේනාවේ මෙහෙයුම් බලප්‍රදේශය තුළ, මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර තිබේ.

මෙහිදී වැල්ගල, උතුරුවැල්ල, අහුගොඩ, පොල්වත්තයාය සහ පුහුල්යාය යන ගම්මාන ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂාව සිදුකර තිබේ.

මෙම පරීක්ෂාවේදී ප්‍රදේශයේ නිවාස 50ත් 60ත් අතර ප්‍රමාණයක බහුතරයක් වටා දේශීයව සකස් කරන ලද, නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන විදුලි වැට පද්ධති සවිකර ඇති බව නිරීක්ෂණය වී ඇත.

පරීක්ෂාව සිදුකරන අවස්ථාවේදී මෙම විදුලි වැටවල් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කර නොතිබුණද, අවශ්‍ය අවස්ථාවලදී ඒවා ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේ හැකියාව පවතින බවද නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම, පසුගිය මාස එකහමාරක කාලය තුළ වන අලින් මෙම ප්‍රදේශයට පැමිණ නොමැති බව අනාවරණය වී තිබේ. ගම්වාසීන් ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍යයෙන් අස්වනු නෙළන කාලසීමාව තුළ වන අලින් මෙම ප්‍රදේශයට පැමිණෙන බවයි.

මෙහිදී ගම්වාසීන් විසින් ඉදිකර ඇති විදුලි වැට වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල, නීත්‍යනුකූල අවසරය සහිත විදුලි වැට ඉදිකිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගන්නා ලෙස ගම්වාසීන්ට උපදෙස් ලබාදී ඇත.

තවද, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.