November 4, 2026

වැලිමඩ, හපුතලේ සහ නුවරඑළිය යන ප්‍රදේශවල හරිතාගාර වගාව අඩුවීම හේතුවෙන් චීන එළවළු වර්ග කිහිපයක තොග මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසයි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන්ට අනුව, ඊයේ (03) වන විට බ්‍රොකෝලි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 3,600 දක්වා ඉහළ ගොස් තිබුණි.

රතු බෙල් පෙපර් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 2,500 ත් 2,600 ත් අතර අගයක පැවැති අතර, කහ බෙල් පෙපර් කිලෝග්‍රෑමයක් රුපියල් 2,100 ත් 2,600 ත් අතර මිලකට අලෙවි වී ඇත.

මේ අතර, බැසිල් කිලෝග්‍රෑමයක් රුපියල් 600 ත් 700 ත් අතර මිලකටද, රතු ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිලකටද, මින්චි කිලෝග්‍රෑමයක් රුපියල් 900 ත් 1,000 ත් අතර මිලකටද අලෙවි වූ බව පැවසෙයි.

මෙම එළවළු වර්ග ප්‍රධාන වශයෙන් වැලිමඩ, හපුතලේ සහ නුවරඑළිය යන ප්‍රදේශවල වගා කරන බව පෙන්වා දෙන වෙළෙඳුන්, හරිතාගාර වගාව අඩුවීම හේතුවෙන් වෙළෙඳපොළට ලැබෙන සැපයුම පහත වැටීම මෙම තොග මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව වැඩිදුරටත් සඳහන් කළහ.