November 2, 2026

ඒ, සිචුවාන් ප්‍රාන්තයේ කෝඩේ කලාපයේ සර්ෂුල් ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 200 නමකගේ පමණ ආවාස කඩාබිඳ දැමීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවට වාර්තා වීමත් සමඟ ය.

මෙම සිදුවීමට පෙර ද එම කලාපයේම පිහිටි තවත් ප්‍රධාන බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයක මෙලෙසම දැවැන්ත ලෙස ආවාස ගෙවල් කඩාබිඳ දැමීමේ කටයුතු සිදුකර තිබිණි.

සර්ෂුල් හි Dza Sershul Thekchen Dargyeling විහාරස්ථානයේ මෙම කඩාබිඳ දැමීම් ඔක්තෝබර් 25 සහ 26 යන දිනවල ආරම්භ වූ බව, පුද්ගලික ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත තොරතුරු ලබා දුන් දේශීය මූලාශ්‍රයක් උපුටා දක්වමින් rfa.org වෙබ් අඩවිය වාර්තා කළේය.

සර්ෂුල් හි සිදුවූ මෙම කඩාබිඳ දැමීම් මගින් පෙන්නුම් කරන්නේ, ආත්මික ආයතන, ආගමික අධ්‍යාපනය සහ සංඝයා වහන්සේලාගේ පැවිදි ජීවිතය රජයේ පාලනය යටතට ගැනීමට චීන රජය දරන පුළුල් උත්සාහය බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු අදාළ වාර්තාවේ සඳහන් කර තිබේ.

“දලයි ලාමා සහ පන්චෙන් ලාමා යන හිමිවරුන් ඇතුළු සිය ආගමික නායකයන් තෝරා ගැනීමටත්, ස්වාමීන් වහන්සේලා උදෙසා ධර්ම අධ්‍යාපනය ලබා දීමටත්, රජයේ බාධාවකින් තොරව තම ආගම ඇදහීමටත් ටිබෙට් බෞද්ධයන්ට අයිතියක් තිබිය යුතුයි,” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා rfa.org වෙත පවසා ඇත.

ටිබෙට් බුදුදහමේ ප්‍රධානතම නායක හිමිවරුන් දෙනමගේ අනුප්‍රාප්තිකයන් තේරීමේ සම්ප්‍රදායන් සඳහා චීනය විසින් මීට පෙර සිදුකරන ලද සහ ඉදිරියේදී සිදුකිරීමට ඉඩ ඇති බලපෑම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ.