November 1, 2026

‘Waves’ ජනප්‍රිය සෙරෙප්පු සන්නාමය සම්බන්ධයෙන් Wealth Footwear Industries (Pvt) Ltd සමාගම සමඟ ඇති වූ වෙළඳ ලකුණු ආරවුලේදී, D. Samson Industries (Pvt) Ltd සමාගමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබේ.

විනිසුරු ජනක ද සිල්වා, මේනකා විජේසුන්දර සහ එම්.සම්පත් කේ. බී. විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Wealth Footwear සමාගමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් වාණිජ මහාධිකරණය මින් පෙර ලබා දී තිබූ නියෝගය මෙමඟින් අවලංගු කර තිබේ.

ඔක්තෝබර් 29 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද මෙම තීන්දුව, 2010 වසරේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් DSI සමාගමේ ඉතා ජනප්‍රිය ‘Waves’ සෙරෙප්පු සන්නාමය සම්බන්ධයෙන් පැනනැගුණකි.

DSI සමාගම චෝදනා කර ඇත්තේ, Wealth Footwear සමාගම විසින් තම ලියාපදිංචි වෙළෙඳ ලකුණට බෙහෙවින් සමාන ‘Wealth’ යන සන්නාමය සහ විශේෂ මෝස්තරයකට සකස් කරන ලද “W” අකුරක් සහිත උස්පටි නිෂ්පාදනය කර අලෙවි කරන බවත්, එය පාරිභෝගිකයන් නොමඟ යැවීමට හේතු විය හැකි බවත්ය.

තම ලාංඡනය වෙනස් බවත්, එහි මධ්‍යයේ පා සටහනක් සහිත විශේෂ මෝස්තරයකට සකස් කළ W අකුරක් අඩංගු බවත්, Wealth Footwear සමාගම තර්ක කර තිබේ. එසේම, තම නිෂ්පාදන DSI සෙරෙප්පු වල මිල මෙන් ආසන්න වශයෙන් අඩකට සහ වෙනත් සිල්ලර අලෙවි ක්‍රමවේද හරහා අලෙවි කරන බවද ඔවුහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, DSI සමාගම නඩු පැවරීම ප්‍රමාද කර ඇති බවටත්, යම් මූල්‍යමය හානියක් සිදු වුවහොත් එය වන්දි මඟින් පියවාගත හැකි බවටත් පවසමින් වාණිජ මහාධිකරණය මීට පෙර DSI හි අතුරු තහනම් ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය එම මතය ප්‍රතික්ෂේප කළ අතර, බුද්ධිමය දේපළ පනත යටතේ වෙළෙඳ ලකුණු උල්ලංඝනය කිරීමක් පිළිබඳ ප්‍රාථමික නඩුවක් ගොනු කිරීමට DSI සමාගම සමත් වී ඇති බව තීන්දු කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු සම්පත් කේ. බී. විජේරත්න සඳහන් කර ඇත්තේ, මතභේදයට තුඩු දී ඇති ලාංඡනය අඛණ්ඩව භාවිතා කිරීමට Wealth Footwear සමාගමට ඉඩ ලබා දීමෙන් පාරිභෝගිකයන් අතර ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බවත්, DSI හි ලියාපදිංචි වෙළෙඳ ලකුණේ කීර්තිනාමයට සහ අනන්‍යතාවයට හානි විය හැකි බවත්ය.

වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීමක් යනු අඛණ්ඩව සිදුවන ක්‍රියාවක් බවත්, සෑම උල්ලංඝනය කිරීමක්ම නව නඩුවකට මඟ පෑදිය හැකි බවත් අධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව, නීතිමය පියවර ගැනීමට ප්‍රමාද වීම නිසා DSI හි ඉල්ලීම අසාර්ථක විය යුතුය යන තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

හුදෙක් මූල්‍යමය වන්දි ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා පමණක් යැයි සලකා වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් ප්‍රතික්ෂේප කිරීමෙන් වරදක් කර ඇති බවද විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව, DSI සමාගමේ අභියාචනය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මතභේදයට තුඩු දී ඇති ලාංඡනය හෝ ඊට ව්‍යාකූල ලෙස සමාන ලාංඡන සහිත පාවහන් නිෂ්පාදනය කිරීම, විකිණීම, බෙදාහැරීම හෝ ප්‍රචාරණය කිරීම වළකාලමින් Wealth Footwear සමාගමට, එහි සේවකයන්ට, නියෝජිතයින්ට, සිල්ලර වෙළෙන්දන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව අතුරු තහනම් නියෝග නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝග මඟින්, ප්‍රධාන වෙළෙඳ ලකුණු උල්ලංඝනය කිරීමේ නඩුවේ අවසන් තීන්දුව ලබා දෙන තෙක් අවශ්‍ය අතුරු ආරක්ෂාව සලසනු ලබයි.

මීට අමතරව, අභියාචනය සඳහා සහ පහළ අධිකරණයේ නඩු කටයුතු සඳහා වැය වූ නඩු ගාස්තු ද DSI සමාගමට ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.