October 30, 2026

ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම, සැපයුම්කරුවන් සමඟ ඇති ගැටලු සහ සිලින්ඩර තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන දුෂ්කරතා… ලාෆ්ස් ගෑස් අර්බුදය පිටුපස ඇති සැබෑ තත්ත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ ගෑස් වෙළෙඳපොළ තුළ යළිත් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමත් සමඟ, මෙය හුදෙක් ගෑස් හිඟයක් පිළිබඳ ගැටලුවක් නොව පාරිභෝගික අයිතිවාසිකම්, වෙළෙඳපොළ තරගකාරීත්වය සහ සැපයුම් වගකීම් පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළෙන් සොයාගැනීමට නොහැකි වීම පමණක් නොවේ. ගෑස් සමාගමකින් සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයකුට, එම සේවාව අඛණ්ඩව නොලැබෙන විට සිදුවන ආර්ථික හා ප්‍රායෝගික හානිය ද මෙහිදී වැදගත් වේ.

CAA අධිකරණයට ගියේ ඇයි?

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන යටතේ, ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් CAA විසින් ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී සහ අප්‍රේල් මාසයේදී ඇතුළු අවස්ථා කිහිපයකදී ලාෆ්ස් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්විය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමාගමට සැපයුම යථා තත්ත්වයට පත් කරන ලෙස දැනුම්දීම් සිදුකර තිබියදීත් ගැටලුව විසඳී නොමැති බව අදාළ තොරතුරුවලින් පෙනී යයි. අධිකරණය විසින් සමාගමට සිතාසි නිකුත් කර ඇති අතර, නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවීමට නියම කර තිබේ.

අර්බුදයේ මුල සැපයුම්කරුවෙකු නොමැති වීමද?

ලාෆ්ස් ගෑස් සමාගමේ සැපයුම් ගැටලුව පිටුපස ඇති ප්‍රධාන හේතුවක් ලෙස ගෑස් ලබාගැනීමේ අපහසුතා හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ භාවිතයට අවශ්‍ය ගෑස් සංයුතිය සම්බන්ධයෙන් බියුටේන් (Butane) සහ ප්‍රොපේන් (Propane) අතර නියමිත අනුපාතයක් පවත්වාගත යුතු බව අදාළ තොරතුරුවල සඳහන් වේ. එහෙත් අවශ්‍ය සංයුතියෙන් විශාල තොග ලබාගැනීමේ අපහසුතා හේතුවෙන් ලාෆ්ස් සමාගමට ගෑස් ලබාගැනීම සංකීර්ණ වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ලිට්රෝ ගෑස් සමාගමට සැපයුම් සපයන පාර්ශ්වයකින් කුඩා ප්‍රමාණවලින් ගෑස් ලබාගැනීමට ලාෆ්ස් සමාගම උත්සාහ කර ඇති නමුත් එය ද අසාර්ථක වී තිබේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ, ජාතික මට්ටමින් පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෑස් සඳහා සමාගමක සැපයුම් සැලසුම් මෙතරම් සීමිත තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්නයි. සැපයුම්කරුවන් සමඟ පැවති ගිවිසුම්, විකල්ප සැපයුම් මාර්ග, තොග කළමනාකරණය සහ හදිසි අවස්ථාවලදී සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තිබූ සැලසුම් පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ.

හම්බන්තොට පර්යන්තය තිබියදීත් ගෑස් හිඟයක් ඇතිවන්නේ ඇයි?

ලාෆ්ස් සමාගමට හම්බන්තොට පිහිටි පර්යන්ත පරිශ්‍රයේදී බියුටේන් සහ ප්‍රොපේන් මිශ්‍ර කර ගෑස් සකස් කිරීමේ පහසුකම් පවතී.
එහෙත් අදාළ ගිවිසුම්ගත කොන්දේසි අනුව, එම පහසුකම් හරහා සකස් කරන ගෑස්වලින් දේශීය වෙළෙඳපොළට නිකුත් කළ හැකි ප්‍රමාණය 20%කට සීමා වී ඇත. ශ්‍රී ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් වැඩි කොටසක් ලිට්රෝ සමාගම විසින් සපයන අතර, එහි සැපයුම් කිසිඳු බාධාවකින් තොරව සිදුවේ. එහෙත් ලාෆ්ස් සමාගමේ සැපයුම අඩාල වන අවස්ථාවලදී එම පාරිභෝගිකයන් ලිට්රෝ ගෑස් වෙත යොමුවීම හේතුවෙන් එම සමාගමට ඇති ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.
ලාෆ්ස් සමාගම තමන්ට දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට ලබාදී ඇති 20%ක සීමාව වැඩිකර දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බව සඳහන් වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාගමට යම් සහනයක් ලබාදීමට කටයුතු කෙරිිණ. එහෙත් පසුගිය අප්‍රේල් මාසයේදී නැවතත් සැපයුම අඩාල වූ අවස්ථාවේදී වෙළෙඳපොළ සීමාව වැඩිකර දෙන ලෙස ලාෆ්ස් සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ලිට්රෝ සමාගම හරහා ගෑස් සැපයුම වැඩිකිරීමටත්, නිල් පැහැති හිස් ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් පියවර ගත් බව වාර්තා වේ.

නීත්‍යනුකූල නොවන ලෙස ඔවුන්ට එවැනි වෙළෙඳපොල ඉඩක් ලබාදිය නොහැකි බවත්, පාරිභෝගිකයා අපහසුතාවට පත් නොකර ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කළ යුතු බවත් අමාත්‍යවරයා එම අවස්ථාවේ අවධාරණය කළේ හෝටල් හා කර්මාන්ත ශාලාවල සිය සැපයුමට හෝ හම්බන්තොට පර්යන්තයෙන් 20% සීමාව ඉක්මවා වෙළෙදපොලට නිකුත්කිරීමට අවසර දෙන ලෙස ලාෆ්ස් සමාගම කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි.

වෙළෙඳපොළ කොටස වැඩි කරදීමෙන් ගැටලුව විසදෙයි ද?

එක් සමාගමකට වෙළෙඳපොළ කොටස වැඩිකර දීමෙන් එහි සැපයුම් ගැටලුවට විසඳුමක් ලැබිය හැකි වුවද, එම තීරණය පාරිභෝගික ආරක්ෂාව, වෙළෙඳපොළ තරගකාරීත්වය සහ අනෙකුත් සැපයුම්කරුවන්ට ඇති බලපෑම සමඟ ද සලකා බැලිය යුතුය. එබැවින් වෙළෙඳපොළ සීමාව වැඩිකිරීම පමණක් මෙම අර්බුදයට ස්ථිර විසඳුමක් වනු ඇතැයි නිගමනය කළ නොහැකිය.

සිලින්ඩර තැන්පතු මුදලෙන් පාරිභෝගිකයාට සිදුවන පාඩුව කවුද දරන්නේ?

මෙම අර්බුදයේ වඩාත්ම සංවේදී පැතිකඩක් වන්නේ ලාෆ්ස් ගෑස් භාවිත කරන පාරිභෝගිකයන්ට වෙනත් සැපයුම්කරුවෙකු වෙත මාරුවීමේදී මුහුණදීමට සිදුවන වියදමයි. ගෑස් සැපයුම අඛණ්ඩව නොලැබීම හේතුවෙන් ලිට්රෝ ගෑස් වෙත මාරුවීමට කැමති පාරිභෝගිකයන්ට, තමන් ලාෆ්ස් සිලින්ඩරය වෙනුවෙන් තැන්පත් කළ මුදල ආපසු ලබාදෙන ලෙස සමාගමට දැනුම්දී ඇති බව සඳහන් වේ. එහෙත් සිලින්ඩරයේ කාලය සහ ක්ෂයවීමේ ප්‍රමාණය අනුව රුපියල් 1,000ක පමණ මුදලක් පමණක් ආපසු ගෙවීමට සමාගම එකඟ වී ඇති බව අදාළ තොරතුරුවල දැක්වේ.

අනෙක් අතට, නව ලිට්රෝ සිලින්ඩරයක් මිලදී ගැනීම සඳහා රුපියල් 10,000කට අධික මුදලක් වැය කිරීමට සිදුවන්නේ නම්, පාරිභෝගිකයාට දැරීමට සිදුවන අමතර වියදම සැලකිය යුතු මට්ටමක පවතී. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ සිලින්ඩරයේ වටිනාකම පමණක් නොවේ. පාරිභෝගිකයා මුලින් ගෙවූ තැන්පතු මුදල, අයකරන ක්ෂයවීම් ගාස්තු, මුදල් ආපසු ලබාගැනීමේ ක්‍රමවේදය සහ වෙනත් සමාගමක සිලින්ඩරයක් ලබාගැනීමට දැරිය යුතු මුළු වියදම යන සියල්ල සැලකිල්ලට ගත යුතුය. තමන්ගේ වරදකින් තොරව සැපයුම් ගැටලුවකට මුහුණ දෙන පාරිභෝගිකයාට, අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීම සඳහා නැවතත් විශාල මුදලක් වැය කිරීමට සිදුවීම සාධාරණද? මෙයට පිළිතුරක් ලබාදීම සඳහා සිලින්ඩර තැන්පතු සම්බන්ධ ගිවිසුම් කොන්දේසි සහ අදාළ පාරිභෝගික ආරක්ෂණ නීති ද පරීක්ෂා කළ යුතුය.

අර්බුදයේ සැබෑ බර දරන්නට සිදුව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට වෙළෙඳසැලකට යන සාමාන්‍ය පාරිභෝගිකයාටයි. ගෘහස්ථ ආහාර පිසීමේ කටයුතු අඩාල වීම, විකල්ප ඉන්ධන සඳහා අමතර වියදම් දැරීම, වෙනත් ගෑස් සිලින්ඩරයක් ලබාගැනීම සඳහා මුදල් සොයාගැනීම සහ තැන්පතු මුදල් ආපසු ලබාගැනීමේ අපහසුතා ඒ අතර වේ. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙවැනි අමතර වියදම් දැරීම පහසු නොවේ. එබැවින් දැන් පාරිභෝගික අධිකාරිය සිය බලය යොදවා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදනවලට අනුව, ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලාෆ්ස් (Laugfs) ගෑස් සමාගමට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇත. එම නඩුව අදාළව ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කළ අධිකරණය නඩුව නොවැම්බර් 11 වන දින කැඳවීමට නියම කරන ලදී.

(ඉෂංකා ඒකනායක)