October 28, 2026

ඉන්දියාවේ කාන්තා අධිකරණයක් විසින් වසර 11කට පෙර 64 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට වරදකරු වූ ශ්‍රී ලාංකික සරණාගතයකුට වසර හතක සිරදඬුවමක් නියම කර තිබේ.

එරට ජනමාධ්‍ය වාර්තා අනුව, ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සඳහා වූ පුනරුත්ථාපන කඳවුරක පදිංචිව සිටි කරන් නමැති 36 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස සිරදඬුවම් නියම කර ඇත.

2015 වසරේදී පෙරුමාල්පුරම් ප්‍රදේශයේදී 64 හැවිරිදි කාන්තාවකට ඔහු ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාළ නඩුව විභාග කළ කාන්තා අධිකරණය විසින් අඟහරුවාදා (27) කරන්ට වසර හතක සිරදඬුවම නියම කර ඇත.

මේ අතර, 2019 වසරේදී නිවසකට අනවසරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව තවත් පුද්ගලයකුට එම අධිකරණය විසින් වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.

එලෙස දඬුවම් නියම වී ඇත්තේ කීළා කෝනම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඒ. බාබු නමැති පුද්ගලයාටය.