October 28, 2026

ඉන්දියාවේදී වසර 10 ක සිරදඬුවමක් විඳ නිමකිරීමෙන් පසු මෙරටට පිටුවහල් කරන ලද හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක කාලයකට රැඳවුම් නියෝග මත එම කොට්ඨාශය භාරයට ගෙන තිබේ.

සන්දිලිපායි, මසියපිට්ටි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම 50 හැවිරිදි සැකකරු ඔක්තෝබර් 26 වනදා රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

එල් ටී ටී ඊ සංවිධානය නැවත සංවිධානය කිරීමට උත්සාහ කළේ යැයි යන චෝදනාව මත 2015 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහුට, පසුව ඉන්දීය අධිකරණය මගින් සිරදඬුවම් නියම කර තිබිණි.

ඔහු මෙරටට පැමිණි වහාම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් ලැබී ඇති බුද්ධි තොරතුරු මත පදනම්ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.