October 26, 2026

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මැදිහත්වීම මත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වහාම ජනාධිපති සමාව ලබා දී මෙම ගැටලුව විසඳන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අද(ඔක්තෝබර් 26) නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත්තේ, මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ඥානසාර භික්ෂුව මුදාහරින ලෙස ඉල්ලා පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

අධිකරණයට අපහාස කිරීමේ වරද සඳහා ලබාදිය හැකි උපරිම සිරදඬුවම මාස 18ක් බවට හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා කළ විග්‍රහය පෙන්වාදෙන එජාපය, එම වරද වෙනුවෙන් ඥානසාර භික්ෂුව මේ වන විටත් මාස 10කට වැඩි කාලයක් සිරදඬුවම් විඳ ඇති බව කියා සිටී.

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේට මීට පෙර ද ජනාධිපති සමාව හිමිවූ බව එක්සත් ජාතික පක්ෂය මෙහිදී මතක් කර දෙයි.

එජාපය පවසන පරිදි, ඥානසාර භික්ෂුවට නැවතත් ජනාධිපති සමාවක් ලබාදීම කෙරෙහි සලකා බැලිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ද සිය නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

එම භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතා පාගමනට හෝ සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිව පවා අධිකරණ නියෝග ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විවේචනය කරයි.

එවැනි ක්‍රියාමාර්ග බරපතල වැරදි ලෙස හඳුන්වන එජාපය, ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත්කිරීමට නියෝග කළ පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටියි.

මහා නායක හිමිවරුන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව ඥානසාර භික්ෂුවට වහාම ජනාධිපති සමාව ලබා දී දැනට පවතින මෙම අර්බුදය අවසන් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි.