October 17, 2026

ඊයම් අඩංගු ආහාර ලබා දීමෙන් දරුවන් 200කට අධික සංඛ්‍යාවක් විෂ වීමට ලක් කිරීම සම්බන්ධයෙන් චීනයේ ළදරු පාසලක හිමිකරුවෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙකු සිරගත කර තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ගන්සු පළාතේ ටියැන්ෂුයි හි පිහිටි හේෂි පීෂින් ළදරු පාසල පවත්වාගෙන ගිය ලී හුයිෆාං නමැත්තාට, විෂ සහිත සහ හානිකර ආහාර නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

2025 ජූලි මාසයේදී, මෙම ළදරු පාසලේ දරුවන් අසනීප වීමට පටන් ගැනීමත් සමඟ, එහි සිටි සිසුන් 247 දෙනෙකුගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ රුධිරයේ ඊයම් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය විය.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවකින් හෙළි වූයේ, වැඩි සිසුන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ආහාරවල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා ‘හේෂි පීෂින්’ ආයතනයේ අරක්කැමියන් විසින් ආහාරයට නුසුදුසු තීන්ත වර්ගයක් භාවිතා කර ඇති බවයි. එම තීන්ත ආහාරයට නුසුදුසු බවට පැහැදිලිව සලකුණු කර තිබියදීත් ඔවුන් එසේ සිදු කර තිබුණි.

මෙම සිර දඬුවමට අමතරව, ලී හුයිෆාං සතු පෞද්ගලික වත්කම්වලින් යුවාන් 500,000ක මුදලක් රාජසන්තක කිරීමට ද ලාන්ෂු අතරමැදි මහජන අධිකරණය නියෝග කළ බව චීන රාජ්‍ය විකාශක CCTV වාර්තා කළේය.