October 16, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග විවේචනය කරමින් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

හිටපු ජනාධිපතිවරයා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පෙන්වා දුන්මනෝජ් ගමගේ, “මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් පසුවෙනවා, මේ මොහොතේ පවා ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය අතිශය බරපතල නොවන බවත්, සාමාන්‍ය පරිදි සුවය ලබමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේවුවද, මානුෂීය සැලකිල්ලක් නොමැති වීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ මනෝජ් ගමගේ, “අපි හැමෝම දන්නවා එතුමා අසනීපයෙන් සිටින මෙවැනි මොහොතක, විශේෂයෙන්ම බිරිඳගේ රැකවරණය සහ සහාය වඩාත්ම අවශ්‍ය මොහොතක, රජය ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිරගත කිරීමට කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් සඳහන් කළේය.

එවැනි අවස්ථාවක බිරිඳගේ පැමිණීමේ ඇති වැදගත්කම අවධාරණය කරමින් මනෝජ් ගමගේ වැඩිදුරටත් කියා සිටියේ, “අපේ ගෙවල්වල වුණත් අපි දන්නවා, ස්වාමිපුරුෂයා අසනීප වුණාම අඩුම තරමේ බෙහෙත් ටික දෙන්නවත් බිරිඳ ළඟ ඉන්න ඕනේ” යනුවෙනි. මෙය ඉතා වේදනාකාරී සහ සංවේදී තත්ත්වයක් ලෙස හැඳින්වූ ඔහු, ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිතවලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග වටා පවතින උණුසුම් දේශපාලන වාතාවරණය පිළිබඳවද අවධානය යොමුකළේය.