October 13, 2026

2026 වසරේ මුල් මාස නවය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 364ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම කාලය තුළ බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධ පැමිණිලි 114ක් ලැබී ඇති බව ද එම අධිකාරිය සඳහන් කරයි.

ළමා අපයෝජන සහ දරුවන්ට බලපාන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 9,613ක් මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්, එනම් 1,554ක් වාර්තා වී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය.

ලැබී ඇති මෙම පැමිණිලි අතරට දූෂණ නඩු 169ක්, ලිංගික සූරාකෑමේ සිදුවීම් 8ක්, ළමා ජාවාරම් සම්බන්ධ නඩු 40ක්, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දරුවන් යොදා ගැනීම් සම්බන්ධ නඩු 37ක් සහ දරුවන්ට එරෙහි කෲරත්වයේ සිදුවීම් 1,889ක් ඇතුළත් වේ.

මීට අමතරව, නව යොවුන් වියේ ගැබ්ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 51ක්, ළමා විවාහ පිළිබඳ පැමිණිලි 9ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පැමිණිලි 99ක්, දරුවන්ට එරෙහි අන්තර්ජාල ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 196ක් සහ ගෘහස්ථ හිංසනයන් සම්බන්ධ පැමිණිලි 46ක් ද මෙම වසරේ මුල් මාස නවය තුළ වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.