October 13, 2026

කල්මුණේ උතුර මූලික රෝහලේ සේවයේ නියුතු මුස්ලිම් සෞඛ්‍ය කාර්ය සහායිකාවන් හයදෙනෙකුට රාජකාරි වේලාව තුළ හිස ආවරණය (හිජාබය) සහ අනෙකුත් ආගමික ඇඳුම් ඉවත් කරන ලෙස බලධාරීන් නියෝග කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර ඇත.

ඔක්තෝබර් 12 වැනිදා සිය විමර්ශන වාර්තාව නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දුන්නේ, රෝහල් පරිපාලනය විසින් අදාළ සේවිකාවන්ගේ ආගමික නිදහස නීති විරෝධී ලෙස සීමා කර ඇති අතර, ඔවුන්ට එරෙහිව පක්ෂපාතී ලෙස කටයුතු කර නීත්‍යානුකූල රැකියාවක නිරත වීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්වීම් ලැබූ නවක සෞඛ්‍ය කාර්ය සහායිකාවන් හයදෙනෙකු, තමන් නියමිත නිල ඇඳුමට අමතරව පැළඳ සිටි හිස ආවරණ, දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම් ඉවත් කරන ලෙස රෝහල් බලධාරීන් උපදෙස් දුන් බවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

පැමිණිල්ලට අනුව, මෙම කාන්තාවන් 2026 අගෝස්තු 06 වන දින සේවයට වාර්තා කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුවය.

සේවයට ඇතුළත් වීමේ පුහුණු වැඩසටහන අතරතුර, රෝහල් නිලධාරීන් විසින් මුස්ලිම් කාන්තා සේවිකාවන්ට ඔවුන්ගේ ආගමික ඇඳුම් ඉවත් කරන ලෙස නියෝග කර ඇති බව කියැවේ.

එම නියෝගයට අවනත නොවන්නේ නම් සේවා පැමිණීමේ ලේඛනය අත්සන් කිරීමට ඉඩ නොදෙන බවට ද අදාළ සේවිකාවන්ට තර්ජනය කිරීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් වී ඇත.

පත්වීම් ලැබූ නවක මුස්ලිම් කාන්තාවන් නවදෙනාගෙන් තිදෙනෙකු අවසානයේ තම ආගමික ඇඳුම් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, හයදෙනෙකු එය ප්‍රතික්ෂේප කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

ඇඳුම් පැළඳුම් සම්බන්ධ නීතිවලට අවනත වීම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම හෝ රැකියාවෙන් ඉල්ලා අස්වීම යන විකල්ප අතුරින් එකක් තෝරාගන්නා ලෙස රෝහල් නිලධාරීන් පසුව තමන්ට බලපෑම් කළ බව අදාළ පැමිණිලිකාරියන් හයදෙනා චෝදනා කර ඇත.

එමෙන්ම තමන් වාචිකව හිරිහැරයට සහ තර්ජනයට ලක්වූ බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

කෙසේ වෙතත්, රෝහල් බලධාරීන් ප්‍රකාශ කර සිටියේ නිල ඇඳුම් පාලනය වන පවතින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමට පමණක් තමන් කටයුතු කළ බවයි.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දුන්නේ අදාළ 1989 සහ 2022 චක්‍රලේඛ අතුරින් කිසිවකින් රාජ්‍ය නිලධාරීන්ට ආගමික හිස ආවරණ හෝ අමතර සුදුසු ඇඳුම් ඇඳීම පැහැදිලිවම තහනම් කර නොමැති බවයි.

තවද, අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි වෙනත් රජයේ රෝහලක මුස්ලිම් කාන්තා සේවිකාවන්ට කිසිදු බාධාවකින් තොරව මෙවැනි ආගමික ඇඳුම් ඇඳීමට අවසර දී ඇති බවද කොමිෂන් සභාව නිරීක්ෂණය කළේය.

ඒ අනුව, අදාළ චක්‍රලේඛ සම්බන්ධයෙන් කල්මුණේ රෝහල් පරිපාලනය ලබාදී ඇති අර්ථ නිරූපණය හිතුමනාපී, අසාධාරණ මෙන්ම පක්ෂපාතී එකක් බව මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත.