October 12, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලැස්වීම සහ ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ විමර්ශනයට අදාළව, මීට පෙර චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නැමැත්තා ද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.