October 12, 2026

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අද මුහුණ දී සිටින දැවැන්ත පසුබෑමට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය දශකය පුරා නිසි පරිදි ක්‍රීඩකයන් බිහිනොවීම බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.

නව ආණ්ඩුවක් පත්වූ සැනින් මාසයකින් දෙකකින් ක්‍රීඩකයන් නිර්මාණය කළ නොහැකි බව පෙන්වාදෙන ඔහු, ක්‍රීඩා ක්ෂේත්‍රය ගොඩනැඟීම සඳහා යම් කාලයක් ඉවසීමෙන් බලාසිටීමට සිදුවන බව අවධාරණය කරයි.

වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉහළ මට්ටමේ සිට පහළට යන ක්‍රමවේදය වෙනුවට, සැබෑ සංවර්ධනය උදෙසා පහල මට්ටමේ සිට ඉහළට ක්‍රීඩකයන් බිහිකරන නව වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

ක්‍රීඩා ක්ෂේත්‍රය නිසි මඟට ගැනීම සඳහා පරිපාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිත අතර, ඒ සඳහා නව ක්‍රීඩා පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, පරිපාලනය විධිමත් කිරීමෙන් පසු බිම් මට්ටමේ සිට දක්ෂ ක්‍රීඩකයන් නිර්මාණය කර අන්තර්ජාතික මට්ටමෙන් තරග ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායම් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බවත් ඔහු පැවසිය.

ලෝකයේ සෙසු රටවල් සිය ක්‍රීඩා අංශ අතිනවීන තාක්ෂණයෙන් හා ක්‍රමවේදවලින් දියුණු කරමින් ඉදිරියට ඇදෙන පසුබිමක, ශ්‍රී ලංකාවටද එම දැඩි තරගකාරීත්වයට සාර්ථකව මුහුණදීමට සිදුවී තිබේ.

විශේෂයෙන්ම ආසියානු මට්ටමේ තරගවලදී 10 වැනි ස්ථානයට වඩා පහළින් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීමට සහ ආධාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු සදහන් කරන ලදී.

මෙරට මලල ක්‍රීඩාවේ අඛණ්ඩ සංවර්ධනය අඩාල කරමින් පවතින පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී දැඩි අවධානයක් යොමුවිය.

මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනකුම එකවර ඉල්ලා අස්වීම ඇතුළු වත්මන් අභියෝගයන් හමුවේ, ඉදිරියේදී එම සංගමය සම්බන්ධයෙන් තීරණාත්මක පියවර කිහිපයක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.