October 12, 2026

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ඉන්දියාවේ දැවැන්ත අභිලාෂය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් වරක් තහවුරු කර තිබේ.

ලෝකයේ විශාලම ක්‍රීඩා උළෙලක් තමන් වෙත පවරාගැනීමේ සිහිනය කරා රට සාර්ථකව ඉදිරියට යමින් සිටින බව ඔහු අවධාරණය කර ඇත.

චෙන්නායි හි ජයිගෝපාල් ගරෝඩියා හින්දු විද්‍යාලයේ ස්වර්ණ ජයෝත්සවය අමතමින් අගමැතිවරයා මෙම අදහස් පළකර තිබේ.

“ඉන්දියාව 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සූදානම් වන අතරම, 2036 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ අපේ සිහිනය සැබෑකර ගැනීමට ද අපි අඛණ්ඩව ඉදිරියට යමින් සිටිනවා.” යැයි මෝදි ප්‍රකාශ කර ඇත.

ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමේ අරමුණින් ඉන්දියාව මේ වන විටත් ක්‍රියාකාරී පියවර අනුගමනය කරමින් සිටින අතර, ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරය ඒ සඳහා ප්‍රධාන සත්කාරක නගරයක් ලෙස ඉදිරිපත් වී තිබේ.

රටේ ක්‍රීඩා යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන ගමනාන්තයක් ලෙස ඉන්දියාව ස්ථාපිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇත.

මේ හරහා ඉන්දියාවේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙර නොවූ විරූ පුළුල් අවස්ථා රැසක් උදාවන බවද අගමැතිවරයා පෙන්වා දී තිබේ.

2036 ඔලිම්පික් උළෙල වෙනුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා පවත්වන රටවල් 7 අතරට ඉන්දියාව ද ඇතුළත් වේ.

ජර්මනිය, හංගේරියාව, කටාර්, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය අනෙකුත් ප්‍රධාන අපේක්ෂක රටවල් වේ.

ඉන්දියාවේ යෝජිත ඔලිම්පික් සැලසුම් කේන්ද්‍රගත වී ඇත්තේ 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත අහමදාබාද් නගරය මුල් කරගෙනය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් 2027 මාර්තු වන විට අදාළ අපේක්ෂක නගර කෙටි ලැයිස්තුගත කරනු ඇති අතර, 2036 ඔලිම්පික් සත්කාරක නගරය පිළිබඳ අවසාන තීරණය 2029 වසරේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.