October 8, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන නියමිත කාලය අවසන් වීමෙන් පසුව දීර්ඝ නොකරන බවට රජය මේ වනවිට එළඹ ඇති තීරණය ප්‍රතිපත්තිමය වශයෙන් ධනාත්මකවුව ද එහි ප්‍රතිපලය රටට හිතකර වේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉලක්කයක් නොමැතිව රටක් ගමන් කිරීම ඉතාමත් භයානක තත්වයක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ඉලක්ක සපුරා ගැනීමෙන් තොරව එම වැඩසටහනින් ඉවත්වීම කිසිසේත් සුදුසු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ එහි ප්‍රතිපලය වන්නේ එම ඉලක්ක සපුරා ගැනීමෙන් තොරව රට ඉදිරියට ගමන් කිරීමට උත්සහ දැරුවහොත් ඉදිරියේදී එල්ල වන අභියෝග සහ ආර්ථිකමය පීඩන තවත් උග්‍ර විය හැකි බවයි.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබමින් රට තවදුරටත් ගමන් කළ යුතු බව යෝජනා කළ මන්ත්‍රීවරයා ජාත්‍යන්තර සහයෝගය සහිත ඉලක්ක ගත ගමනක් රටක අනාගතයට ඉතා වැදගත් බව ද අවධාරණය කළේය.