October 6, 2026

ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය, ඉලක්ක ගත සංචිත ප්‍රමාණය පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ සිටින ණය වැඩසටහන යටතේ එම කොන්දේසිවලට අනුව සංචිත පවත්වා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් වනවිට රට තුළ පැවැති විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 6.1 ක් බවයි.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ පසුකාලීනව වාරික 03 කදී මූල්‍ය පහසුකම් හිමිවූ බැවින් එම මුළු සංඛ්‍යාව අමෙරිකානු ඩොලර් මිලියන 1050 ක් බවයි.

ඒ අනුව රටේ විදේශ සංචිතය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 7200 ක් තිබිය යුතු වුව ද වර්තමානයේ පවතින්නේ 6900 ක ප්‍රමාණයක් බැවින් එය සිදුවූයේ කෙසේද යන්න ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම මෙම සංචිත ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් පමණ සමන්විත වන්නේ චීනය සහ ඉන්දියාව වැනි විදේශ රටවලින් ලද හුවමාරු ණය සහ දේශීය වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ප්‍රමාණය මත බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ අනුව රජය සතු ශුද්ධ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2000 ක් පමණ වන බව ද පැවසුවේය.