October 5, 2026

විදේශීය සමාගම්වලට ඉන්ධන සහනාධාරය ලබාදීම රජය විසින් සිදු නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සහනාධාරයක් ලබාදීමට අවශ්‍ය නම් එය ලබාදිය යුත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බවයි.

සුදුසු අංශය වෙත සහනාධාර ලබා නොදුන හොත් ඉන් තවදුරටත් පීඩාවට පත්වන්නේ බදු ගෙවන රටේ ජනතාව බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ සහනාධාර ලබාදිය යුතු වන්නේ විදේශීය සමාගම් ශක්තිමත් කිරීමට නොව රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බවයි.

ඛණිජතෙල් සහනාධාරයෙන් වැඩි කොටසක් භුක්ති විඳින්නේ රජයේ ආයතන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය බවත්, දැනටමත් ණය බර තුළ සිරවී සිටින ඛණිජතෙල් සංස්ථාව අනාගතයේදී තවත් ණය බරට ඇදවැටීම සිදු නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ එදා විපක්ෂයේ සිටිමින් පැවති රජයන් වෙත දොස් පැවරූ පාර්ශව වර්තමානයේ බලයට පත්ව සිටින බැවින් පොරොන්දු වූ වෙනස සිදු කළ යුතු නමුත් එම වෙනස සිදු නොවුනේ ඇයි ද යන්න ගැටලුවක් බවයි.