October 11, 2026

හලාවත උපත ලබා, පසුව ස්කොට්ලන්ත දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ ඩීනා තිසේරා යනු බ්‍රිතාන්‍ය දේශපාලනයේ වසර 15ක නොපසුබස්නා උත්සාහය තුළින් ඉහළටම ගිය සුවිශේෂී ශ්‍රී ලාංකික කාන්තාවකි. වෛද්‍ය විද්‍යාව, ගෝලීය සෞඛ්‍යය සහ රාජ්‍ය සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනය ලබා ඇති ඇය, ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට පවා සමත් වූවාය.

2022 වසරේදී ඇබර්ඩීන් නගර සභාවට (Aberdeen City Council) තේරී පත්වෙමින්, ස්කොට්ලන්තයේ දේශපාලන තනතුරකට තේරී පත්වුණු පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ලෙස මෙන්ම ප්‍රථම සුළුතර ජාතික කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වූවාය.

ඇගේ දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ වයස අවුරුදු 24දී පියාගේ අභාවයයි. පියාගේ ආදාහන උත්සවයට සහභාගී වීම නිසා විශ්වවිද්‍යාල විභාග මගහැරී යෑමෙන් ඇගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට බලධාරීන් උත්සාහ කළද, ඇය තනිවම සටන් කර ජයගත්තාය. එමගින් ඇය ශිෂ්‍ය සංගමයේ උපසභාපති ලෙස තේරී පත්වී, විදේශීය සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගමින් ප්‍රබල දේශපාලන මෙහෙයුමකට මුලපිරුවාය.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය නියෝජනය කරමින් වසර ගණනාවක් මහජනතාව අතර සේවය කළ ඇය, හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන්ගේ උපදේශකවරියක ලෙසද කටයුතු කළාය. දැනට ඇබර්ඩීන් නගරයේ බලශක්ති සහ පරිසර ප්‍රකාශිකාව ලෙස කටයුතු කරන ඇය, දිළිඳුකම පිටුදැකීම සහ සම අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටියි.

“නායකත්වය යනු අන් අයගේ මතයට අනුව හැඩගැසීම නොව, තමන්ගේ දක්ෂතාවය මත විශ්වාසය තබා ඉදිරියට යාමයි” යනුවෙන් පවසන ඩීනා, තරුණ ලාංකික සහ විදේශික කාන්තාවන්ට පවසන්නේ අන් අය වෙනුවෙන් තම අභිලාෂයන් සීමා නොකර ගන්නා ලෙසයි.

තමන් ස්කොට්ලන්තයේ දේශපාලන තනතුරකට තේරී පත්වුණු පළමු ලාංකිකයා වීම තුළින්, මීළඟට පැමිණෙන ලාංකිකයාට පෙන්වූ බවත්, ස්කොට්ලන්ත ජාතිකයකු වීමට තමන්ගේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය නැතිකර ගැනීමට සිදුනොවුණු බවත් ඇය ආඩම්බරයෙන් පවසන්නීය.