October 10, 2026

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසාගේ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා වන අභියාචනය අද (10) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම නීතිමය ක්‍රියාමාර්ගය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සහ සෞදි නීතිඥ සමාගම් සමග සාකච්ඡා පැවැත්වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා යන පිරිස පසුගිය අඟහරුවාදා සෞදි අරාබිය බලා පිටත්ව ගියහ.

අභියාචනය ගොනුකිරීමට අදාළව එම ජනාධිපති නීතිඥවරුන් ඊයේ දිනයේදීත් එරට නීතිඥ සමාගම් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය හරහා සාර්ථක ප්‍රතිචාරයක් නොලදහොත්, සෞදි රජු වෙත සෘජුවම පෙත්සමක් ඉදිරිපත් කිරීමටද නීති කණ්ඩායම සැලසුම් කර තිබේ.

කල්මුණේ, නැට්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෝජන් සිවරාසා රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා ගොස් ඇත්තේ මීට මාස 9 කට ඉහතදීය.

සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් ඔහුට මුලින්ම වසර 5 ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3 ක දඩයක් නියම කරන ලදී.

කෙසේවෙතත්, එම දඬුවමට එරෙහිව අනෝජන්ගේ පාර්ශ්වය අභියාචනා ගොනුකිරීමත් සමග, එරට නීති ප්‍රධානීන් විසින් ද ඊට එරෙහිව වෙනත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අදාළ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කිරීමට තීරණය කළේය.

අනෝජන් සිවරාසා මුදාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම වහාම සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාරදෙන ලදී.