October 10, 2026

ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කාලසීමාව තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර තිබේ.

එම කොමිෂන් සභාවේ ලේකම් ඩී වී බන්දුලසේන පැවසුවේ, එහි වත්මන් කාලසීමාව ඔක්තෝබර් 16 වැනිදායින් අවසන් වීමට නියමිත බවයි.

මෙතෙක් එම ගනුදෙනු සම්බන්ධයෙන් පුද්ගලයින් 70 දෙනෙකුට අධික සංඛ්‍යාවකගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කොමිෂන් සභාව කටයුතු කර ඇත. සාක්ෂි සටහන් කර ගැනීමේ ක්‍රියාවලිය ලබන සතියේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගල් අඟුරු ආනයනය සහ මිලදී ගැනීමේදී හඳුනාගෙන ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින්, පුද්ගලයින් 18 දෙනෙකුට පසුගිය සතියේදී කොමිෂන් සභාව විසින් දැනුම්දීම් නිකුත් කර තිබිණි.

එම දැනුම්දීම් ලැබී සති දෙකක් ඇතුළත අදාළ පාර්ශව විසින් කොමිෂන් සභාව වෙත තම කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත.

රට තුළ සිදුවන සියලුම ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීමටත්, වංචා සහ දූෂණ සිදුවී ඇත්නම් ඒවා අනාවරණය කර ගැනීමටත් මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.