October 10, 2026

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ එල් අමීර් අජ්වාඩ්, එරට දමාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසාගේ සුවදුක් සහ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා ඉකුත් 8 වනදා එහි සංචාරයක නිරත වූ බව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

මෙම බන්ධනාගාරය සෞදි අරාබියේ අගනුවර වන රියාද් නුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටා ඇත.

අනෝජන් සිවරාසා යනු සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී, මුහම්මද් නබිතුමාට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහසක් හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

එම සමාජ මාධ්‍ය සටහන හේතුවෙන් දැනට මරණ දඬුවමට මුහුණ දී සිටින සිවරාසාට සමාව ලබාගැනීම සඳහා වන උත්සාහයන් මේ වන විට තීව්‍ර වෙමින් පවතී.

මෙම සංචාරය අතරතුරදී තානාපතිවරයා, අනෝජන් සිවරාසා සමඟ සාකච්ඡා කර ඇති අතර ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව කරුණු විමසා තිබේ.

ඍජු සන්නිවේදනය පහසු කිරීම සඳහා තානාපතිවරයා විසින් තමන්ව සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ද සිවරාසා වෙත ලබා දුන් බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ තානාපතිවරයා පවසා ඇත්තේ සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හා සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත්ය.

එමෙන්ම තානාපතිවරයා, දමාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා හමුවී, මෙම සංචාරය සඳහා පහසුකම් සැලසීම සහ සිවරාසට ලබා දෙන රැකවරණය වෙනුවෙන් ඔවුන්ට සිය ස්තූතිය පළ කර තිබේ.

තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිවරාස විසින් සිදු කරනු ලබන අභියාචනා ක්‍රියාවලිය සඳහා ද තානාපති කාර්යාලය සහාය ලබා දෙමින් සිටියි.