October 10, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම දිනයක් සහ වේලාවක් වෙන්කර දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.

එම සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ (09) යොමු කරන ලද විශේෂ ලිපියක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තම සංඝ සභාවට අයත් භික්ෂුවක් වන බැවින්, එම භික්ෂුවගේ සිවුර පවත්වාගෙන යෑම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් නීතිමය හා ශාසනික බලතල හිමිවන්නේ තම සංඝ සභාවට පමණක් බවයි.

එහෙත්, තම සංඝ සභාවේ කිසිදු නියෝජනයකින් තොරව පෙරේදා (08) දිනයේදී ජනාධිපතිවරයා අනෙකුත් නායක හිමිවරුන් පිරිසක් සමග පමණක් සාකච්ඡාවක් පවත්වා තිබීම පිළිබඳව සංඝ සභාව දැඩි මවිතයට පත්වූ බව උන්වහන්සේ සඳහන් කරති. එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිසි හෝ සුදුසු විසඳුමක් ලැබී නොමැති බව සංඝ සභාවේ විශ්වාසයයි.

සමස්ත මහා සංඝරත්නයට මෙන්ම බෞද්ධ සමාජයටම බලපා ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් ලෙස සාකච්ඡා කිරීම සඳහා අදාළ අමාත්‍යවරුන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද කැටුව ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරය වෙත පැමිණෙන ලෙස අතිගරු මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.