October 9, 2026

මාර්ගවල ධාවනය වන අතරතුර අධික ලෙස දුම පිටකරන වාහන හඳුනාගෙන ඒවායේ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ‘Emission Eye Unit’ නමින් විශේෂ ඒකකයක් පිහිටුවීමට වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය මඟින් මාර්ගවල ධාවනය වන වාහන නිරීක්ෂණය කරනු ලබන අතර, අධික ලෙස පෙනෙන පරිදි දුම පිටකරන වාහනවල ඡායාරූප ලබාගෙන ඒවායේ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

වාහන විමෝචන පරීක්ෂණ භාරකාර අරමුදල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව, මාර්ගවලදී සිදුකරන පරීක්ෂණ සහ නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

ප්‍රධාන නගරවල උපායමාර්ගික ස්ථානවල රාජකාරියේ යොදවන නිලධාරීන් විසින් ලබාගන්නා ඡායාරූප සාක්ෂි ලෙස භාවිත කරමින්, අදාළ වාහන හිමිකරුවන්ට එදිනම වාහන නඩත්තු කිරීමේ නියෝග නිකුත් කිරීමට නියමිතය.

එවැනි නියෝග ලැබෙන වාහන හිමිකරුවන් නියමිත කාලසීමාව තුළ තම වාහන අලුත්වැඩියා කර, වේරහැර පිහිටි වාහන විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

නියමිත උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන වාහන හිමිකරුවන්ගේ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ අසාදු ලේඛනගත කිරීමට පියවර ගනු ඇත. එමඟින් වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී හෝ වාහන හිමිකාරිත්වය පැවරීමේදී ගැටලු ඇතිවිය හැකි බව සඳහන් වේ.

වායු දූෂණය හේතුවෙන් මහජන සෞඛ්‍යයට සිදුවන බලපෑම් පිළිබඳව පවතින අවධානය මධ්‍යයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මීට මාස දෙකකට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 7,000ක් පමණ වායු දූෂණය හේතුවෙන් අකාලයේ මියයන බව පෙන්වා දී තිබේ. එහි ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස වාහනවලින් පිටවන දුම හඳුනාගෙන ඇත.

වාහනවලින් සිදුවන විමෝචනය පාලනය කිරීම සහ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන යටතේ විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතී.