October 9, 2026

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිරුවක් ප්‍රදර්ශනයට තබා තිබේ.

ඩෙන්මාර්ක ජාතික කලාකරුවකු වන ජෙන්ස් ගැල්ෂියට් විසින් නිර්මාණය කර ඇති මෙම උපහාසාත්මක පිළිරුව මීටර් 2.5ක් උසින් යුක්තය. එය Orange Plague (තැඹිලි වසංගතය) ලෙස නම්කර තිබේ.

මෙම පිළිරුවෙන් නිරූපණය කර ඇත්තේ නිරුවතින් සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා දිගු රන් පැහැති මුගුරක් අතැතිව, ප්‍රමාණයෙන් කුඩා මිනිසකුගේ උරහිස් මත හිඳගෙන සිටින ආකාරයයි.

මෙම නිර්මාණය කැරට් 23ක රත්‍රන් ආලේප කර ඇති බව කලාකරුවා සඳහන් කර තිබේ. එය ‘අයුක්තියේ රජු’ (King of Injustice) යන නමින් ද හඳුන්වනු ලබයි.

පිළිරුව අසල තබා ඇති විස්තරාත්මක කාඩ්පත්වල දැක්වෙන්නේ, ‘අයුක්තියේ රජු’ බරින් පීඩාවට පත්ව ක්‍රමයෙන් ගිලෙමින් සිටින මිනිසකුගේ පිට මත හිඳගෙන සිටින බවයි.

“ඔහුට උපකාර කිරීමට මම ඕනෑම දෙයක් කරමි. එහෙත් ඔහුගේ පිටෙන් බැසීමට නම් කිසිසේත් සූදානම් නැත” යනුවෙන් එම කාඩ්පතේ වැඩිදුරටත් සඳහන් වේ.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ගනු ලබන උත්සාහයන්ට ට්‍රම්ප් බාධා කරන බවට චෝදනා කරමින් කලාකරුවා මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබේ.

යුරෝපා පාර්ලිමේන්තු ගොඩනැගිලි දෙකක් සම්බන්ධ වන මංසන්ධියක මෙම පිළිරුව ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය බ්‍රහස්පතින්දා දක්වා එහි තබා ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.