October 7, 2026

රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10 ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිෂන් සභාව සඳහන් කළේ, අදාළ රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ලබා දෙන බව පවසමින් ‘සිරියලිය සවිය’ සංවිධානය හරහා ජාතික ඉතුරුම් බැංකුවෙන් මෙම මුදල ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ලබාගත් රුපියල් මිලියන 10 ක මුදල යොදවා රිජ්වේ ආර්යා ළමා රෝහලට අදාළ CT ස්කෑනර් යන්ත්‍රය ලබා දී නොමැති අතර, එම රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

ඒ අනුව දූෂණය සහ රාජ්‍ය දේපළ පනත යටතේ වරදක් සිදුකිරීමේ චෝදනා මත ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත් බව කොමිසම පැවසීය.

අද පෙරවරුවේ කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි නිවසකදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.