October 7, 2026

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සීමා කරන්නේ නම්, ඛනිජ තෙල් පනත සහ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල ප්‍රකාරව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්ධන සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, අදාළ සමාගම් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වී තවදුරටත් බෙදාහැරීම් සීමා කරන්නේ නම් ඉදිරි පියවර ගැනීමට තීරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය තීරණය නොකිරීම හේතුවෙන් පෞද්ගලික ඉන්ධන සමාගම් පාඩු ලබන බැවින් මෙම අර්බුදය මතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝක වෙළඳපොළ මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ඉහළ නංවන ලෙස අදාළ සමාගම් ඉල්ලා සිටි නමුත්, එම ඉල්ලීම ඉටුකිරීමට රජයට නොහැකි වූ බැවින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනයක් මාස තුනක කාලයකට ලබාදීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, එම සහනය හමුවේ වුවද සිදුවන පාඩුව හේතුවෙන් දේශීය වෙළඳපොළට ඉන්ධන සැපයීම සීමා කිරීමට සිදුවන බව සමාගම් දැනුම් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සමාගම් සමග අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රකාරව, රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙසට සාමාන්‍ය නිවේදනයක් නිකුත් කිරීමට රජයට බලය පවතින බව පැහැදිලි කළ අමාත්‍යවරයා, විශේෂිත පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහරින ආකාරය සම්බන්ධයෙන් යම් යම් සමාගම්වලට සෘජුවම නියෝග නිකුත් කිරීමට අමාත්‍යාංශයට බලයක් නොමැති බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත්, දේශීය වෙළඳපොළේ පවතින ඉන්ධන හිඟය අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සක්‍රියව ඉහළ නංවා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අර්බුදය ආරම්භ වන විට දේශීය වෙළඳපොළෙන් සියයට 50% සිට 55% දක්වා ප්‍රමාණයක් සපයන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බවත්, මේ වන විට එම ප්‍රමාණය සියයට 77% සිට 80% දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශීය වෙළඳපොළේ ඉන්ධන සැපයුමට බාධා පැමිණීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස අමාත්‍යාංශය පෞද්ගලික සමාගම්වලින් වැඩිදුරටත් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.