October 7, 2026

වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට අද මාතර මහාධිකරණ අධිචෝදනා භාරදී තිබේ.

මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අටදෙනාම එහිදී අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මෙම අධිචෝදනා පත්‍ර භාරදී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන පදනම් කරගනිමින් ය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, එක් සැකකරුවෙකු සඳහා රුපියල් 250,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් නියම කරමින් සැකකරුවන් මුදාහැරීමට නියෝග කළේය. එම ශරීර ඇපකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකුම සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසි පනවා තිබේ.

අදාළ නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා තෙක් කල් තැබිණි.