October 7, 2026

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මතුවෙමින් පවතින දැඩි කඩාවැටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

කොළඹ සිටින විදේශීය තනාපතිවරුන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් සමඟ දැනට පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම හමුව සිදුවු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු වන මිලින්ද රාජපක්ෂ පැවසීය.

ඔහු සඳහන් කළේ, රට තුළ නිර්මාණය වෙමින් පවතින ‘පද්ධතිමය ඒකාධිපතිවාදය’ සහ තනි පක්ෂයක ආධිපත්‍යය මගින් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් කරුණු පෙන්වා දුන් බවයි.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සහ එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුව පිළිබඳව ද නියෝජිත පිරිස මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැනුවත් කර තිබේ.

මීට අමතරව, බන්ධනාගාරවල පවතින අධික තදබදය, බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වනු ලබන පුද්ගලයන්ට ඉන් සිදුවන බලපෑම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.