October 7, 2026

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිවිල් ඇඳුමින් අධිකරණය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කණස්සල්ල පළ කර තිබේ. ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට සහ බුද්ධ චීවරයේ ගෞරවයට රජය මුළුමනින්ම ගරු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, අධිකරණය නීතිමය රාමුවක් තුළ ක්‍රියාත්මක වන බැවින් එම සීමාවන්ගෙන් ඔබ්බට යා නොහැකි වුවද, සමාජ සම්ප්‍රදායන්, සම්මුතීන් සහ සංස්කෘතික අනන්‍යතාවයන් කෙරෙහි රජය සංවේදීව කටයුතු කළ යුතු බවයි.

ඥානසාර භික්ෂුවගේ කැමැත්තකින් තොරව සිවිල් ඇඳුමින් අධිකරණය හමුවට පමුණුවා ඇති බව ජනමාධ්‍ය වාර්තා මගින් අනාවරණය වන බවද ඔහු සඳහන් කළේය.

අධිකරණයේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි සුදුසු සිවිල් ඇඳුමින් සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට අවසර ඇති නමුත්, බෞද්ධ භික්ෂූන් වහන්සේනමක හෝ වෙනත් ආගමික නායකයෙකු උන්වහන්සේලාගේ කැමැත්තකින් තොරව හෝ දැනුවත්භාවයකින් තොරව සිවිල් ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කිරීම නුසුදුසු බව විපක්ෂ නායකවරයා පැවසීය.

යම් තැනැත්තෙකුගේ පැවිදිභාවය හෝ වෙනත් ආගමක ඇති නිල තත්ත්වය පිළිබඳ තීරණ ගත යුත්තේ අදාළ ආගමික ආයතනය විසින් පමණක් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එබැවින් මෙවැනි සංවේදී කාරණාවලදී ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලාගේ හෝ වෙනත් ආගම්වලට අදාළ නායකත්වයේ දැනුවත්භාවය සහ අනුමැතිය ඇතිව කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

ඥානසාර භික්ෂුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ සිවිල් ඇඳුමින් සැරසී සිටියදීය.